කොරෝනා ආධාර බෙදන්න අල්ලස් අරන්



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පීඩාවට පත් වුණු ඉන්දුනීසියා වැසියන්ට ලැබුණු ආධාර බෙදා හැරීමේදී අල්ලස් ලබා ගත්තැයි ඉන්දුනීසියාවේ මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය ජුලියාරි බටුබාරාට චෝදනා එල්ල වී තිබේ.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට, ඉන්දුනීසියා දූෂණ විරෝධී කොමිසම ඇමැතිවරයා ඊයේ (6) කැඳවූ බව ද වාර්තා වේ. පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන බටුබාරා ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තවමත් කිසිවක් පවසා නැත.

ඉන්දුනීසියාවේ මහජන කටයුතු අමත්‍යාංශය මැදිහත් වී, ‘කොවිඩ් 19’ අරමුදලක් පිහිටුවා ඇති අතර, ඊට ලැබී ඇති ආධාර මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 420 ක් බව පැවැසෙයි.

මෙම මුදල ජනතාව අතරේ බෙදා දීමේ දී අමාත්‍යවරයා අල්ලස් ලබා ගත් බවත් මහජන කටයුතු අමත්‍යාංශය තවත් ඉහළ නිලධාරීන් දෙදෙනකු මෙන්ම අමාත්‍ය බටුබාරාට සමීප ව්‍යාපාරිකයන් දෙදෙනකු ද ඊට සම්බන්ධ බවටත් චෝදනා එල්ල වී ඇති බව ඉන්දුනීසියානු පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS