කෙන්යාවට මහ වැසි: නායයෑම් 18 ක් බිලි ගනී



කෙන්යාවේ විවිධ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ නායයෑම්වලින් පුද්ගලයන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

කෙන්යා රජය නිකුත් කළ නිවේදනයකට අනුව, මධ්‍යම සහ නැගෙනහිර කලාපවලට අයත් තාරකා නිති, එල්ගෙයෝ-මරකවෙට් සහ කියම්බු යන ප්‍රාන්තවලින් නායයෑම් වාර්තා වෙයි. දස දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇතැයි ද පැවැසෙයි.

පවතින අයහපත් කාලගුණය හමුවේ දේපළ හා යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය පවසා ඇත. නායයෑම් අවදානම් සහිත කලාපවල වසන ජනතාවට වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද පොලිසිය අනතුරු ඇඟවීම් කර ඇත.

කෙන්යාවේ නයිරෝබි අගනුවර වීදි ද ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, නගරයේ පවතින දුර්වල මාර්ග තත්ත්වය හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාර අඩාල වී ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශ කිහිපයක වැසියන් විරෝධතාවල ද නිරත විය. මීට අමතරව, ජලයෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් සහ වගාබිම් විනාශ වීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

කෙන්යාවට බලපා ඇති මෙම දරුණු කාලගුණික තත්ත්වය මානව ක්‍රියාකාරකම් නිසා ඇති වූ දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසය. මාර්තු සිට මැයි දක්වා පවතින මෙම වර්ෂා සමය තුළ නයිරෝබි අගනුවරින් පමණක් පසුගිය මාර්තු මාසයේදී මරණ 37 ක් වාර්තා වූ අතර, අප්‍රිකානු නගර මෙම නව දේශගුණික අභියෝගයන්ට කඩිනමින් අනුගත විය යුතු බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පෙන්වා දෙයි.


RECOMMEND POSTS