කාන්තාවන්ට හොඳ නැතිම තැන
ලෝකයේ සෑම මිනිත්තු 10 කට වරක් කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් ඇයගේ සහකරුවා හෝ සමීප නෑදෑයකුගේ අතින් මරණයට පත්වන බව කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් එළි දැක්වූ එක්සත් ජාතීන්ගේ නවතම වර්තාවක දැක්වේ.
මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව මෙම වාර්තාව පසුගිය 25 වැනිදාට යෙදී තිබූ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් එළිදක්වා තිබිණි. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වයේ වඩාත්ම ආන්තික ස්වරූපය ස්ත්‍රී ඝාතනය බවත් එය ලොව පුරා සිදුවන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ගෝලීය වශයෙන්, 2023 දී කාන්තාවන් සහ ගැහැණු ළමයින් 85,000 ක් ඝාතනයට ලක්ව ඇති බවත් එම සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය වසරේදී සහකරුවා අතින් හෝ සමීප නෑදෑයකුගේ අතින් දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින් 140 දෙනකු ඝාතනයට ලක්ව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
එම වාර්තාවට අනුව පසුගිය වසරේදී ස්ත්‍රී ඝාතනයන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ අප්‍රිකා රටවලය. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයන් වළක්වා ගත හැකි බවත් ඒ සඳහා ශක්තිමත් නීති සම්පාදනයක්, වැඩිදියුණු කළ දත්ත රැස්කිරීමක්, වැඩි රාජ්‍ය වගකීමක් සහ ශුන්‍ය ඉවසීමේ සංස්කෘතියක් අවශ්‍ය බවත් කාන්තාවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක සිමා බාහෝස් ප්‍රකාශ කළාය.