කාටූන්වලට එරෙහිව නඩු කියනවා



නබිනායකතුමන්ට අපහාස වන ආකාරයට කාටූන් පළ කරන ප්‍රංශයේ චාලි හෙබ්දෝ විකට කාටූන් සඟරාවට එරෙහිව නඩු පැවැරීමට තමන් බලාපොරොත්තු වන බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

තුර්කි ජනාධිපතිවරයා මෙසේ පැවැසීමත් සමඟ ඔහු සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් අතර පවතින අර්බුදය තවත් උත්සන්න වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

චාලි හෙබ්දෝ ප්‍රංශ සඟරාව දිගින් දිගටම නබිනායකතුමන්ට අපහාස වන ආකාරයට විකට කාටූන් පළ කරයි. එය සාධාරණීය කරමින් ප්‍රංශ ජනාධිපති මැක්රොන් පවසන්නේ, ප්‍රංශයේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බවය.

තුර්කිය සහ ප්‍රංශය අතර අර්බුදයක් නිර්මාණය වූයේ ප්‍රංශයේ වාසය කරන මුස්ලිම්වරුන්ට දිගින් දිගටම කෙණෙහිලිකම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය කටයුතු කරනවා යැයි තුර්කි ජනාධිපති චෝදනා කිරීමත් සමඟය. ප්‍රංශයේ මුස්ලිම්වරුන් සියලු දෙනා ත්‍රස්තවාදීන් සේ සලකා ඔවුන් මර්දනය කිරීමට පියවර ගන්නවා ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මානසික තත්ත්වය පරීක්ෂා කළ යුතු යැයි තුර්කි ජනාධිපති පවසා ඇත.

ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාවට කෙණෙහිලිකම් එල්ල වීම ආරම්භ වූයේ මීට දින කීපයකට පෙර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කළ 43 හැවිරිදි සැමුවෙල් පැටී නමැති ප්‍රංශ ගුරුවරයා ඉස්ලාම් අන්තවාදී තරුණයකු අතින් ඝාතනය වීමේ සිදුවීම මුල්කොට ගනිමිනි.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට විරෝධය පළ කිරීමක් ලෙස ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන්නැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ලෝකයේ මුස්ලිම් රටවලින් ඉල්ලා ඇති අතර මුස්ලිම් රටවල් මේ වනවිටත් ප්‍රංශ භාණ්ඩ ප්‍රතික්ෂේප කර තිබේ.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS