එන්නත් සහතික පත්‍රයක්



ජනතාවට විදේශ සංචාර හා ගමනාගමන සඳහා ‘කොවිඩ්-19’ එන්නත ලබාගත් බවට ‘විද්‍යුත් එන්නත් සහතික පත්‍රයක්’ නිකුත් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබේ.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම් එක්ව නිෂ්පාදනය කළ එන්නතට ඉකුත් දා එක්සත් රාජධානියේ අවසරය හිමි වූ අතර එම එන්නත ලබන සතියේදී බෙදාහැරීම ආරම්භ වනු ඇතැයි පැවසේ. ඇමෙරිකාවේ ‘මොඩර්නා’ සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා ඇස්ට්‍රාසෙනකා’ සමාගම් නිෂ්පාදනය කරන ‘කොවිඩ්-19’ එන්නත්වලට ද ලබන සතිය වනවිට අනුමැතිය හිමිවනු ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ ‘කොවිඩ්-19’ එන්නත ලබාගන්නා අයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහතික පත්‍රයක් නිකුත් කිරීමටත් එම පිරිසට නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී රට රටවල් අතර සංචාරය කිරීම සඳහා එම සහතික පත්‍රය, අවසර පත්‍රයක් ලෙස භාවිත කිරීම සඳහා අවස්ථාව සැලසීම කෙරෙහිත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබේ.

මේ වනවිටත් විවිධ රටවල් ‘‘ප්‍රතිශක්තීකරණ ගමන් බලපත්‍ර’’ ලබාදෙන අතර එසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත නොකරයි. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ අයට ‘‘ප්‍රතිශක්තීකරණ ගමන් බලපත්‍ර’’ හෙවත් මෙම ‘‘ඉමියුනිටි පාස්පෝර්ට්ස්’’ නිකුත් කරයි.

‘කොවිඩ්-19’ වයිරස ගෝලීය වසංගතය හේතුවෙන්, ගෝලීය සංචාරක කර්මාන්තය මෙන්ම ගුවන් ගමන් ඇතුළු ගෝලීය ප්‍රවාහන හා ගමනාගමන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම කඩා වැටිණි.

‘‘අපි මේ තාක්ෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. එන්නත් ලබාගන්නා අයට ‘‘ඊ-වැක්සිනේෂන් සර්ටිෆිකට්ස්’’ (විද්‍යුත් එන්නත් සහතික පත්‍ර) නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහි හැකියාව සම්බන්ධයෙන් අපි මේ වනවිට අධ්‍යයනය කරනවා යැයි’’ යැයි ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැති සමුළුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙක් පැවැසීය.

රොයිටර්


RECOMMEND POSTS