එන්නත් ගන්න ඇමෙරිකානුවන්ට බීයර්-කඩචෝරු නොමිලේ
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට ඇමෙරිකානුවන් උනන්දු කිරීමේ වැඩසටහන් මාලාවක් ජනපද මට්ටමින් ආරම්භ කර ඇති අතර, එන්නත් ලබා ගන්නා අයට නොමිලේ බීයර්, කඩචෝරු ඇතුළු වෙනත් බීම වර්ග පමණක් නොව, බේස්බෝල් සහ බාස්කට් බෝල් තරග නැරඹීමට නොමිලේ ටිකට්පත් ද ලබා දීම සිදු වෙයි.
නොමිලේ එන්නත් ලබා ගන්නා වැඩිහිටියන්ට බියර් ලබා දෙන බව නිවේදනය කර ඇත්තේ නිව් ජර්සි ආණ්ඩුකාර පිල් මරේ ය. එම වැඩසටහන සාර්ථක වෙමින් පවතින බව ආණ්ඩුකාරවරයා පෙන්වා දී ඇත.
'සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්වෙන බේස් බෝල් තරග නරඹන්න යන්න. ක්‍රීඩාංගනවල අප එන්නත් ලබා ගන්න කුටියක් ස්ථාපිත කර තිබෙනවා. ටිකක් කලින් ගිහින් එන්නත ගන්න. කඩචෝරු ඇති තරම් නොමිලේ දෙන්න අප කටයුතු කර තිබෙනවා. එපමණක් නොවෙයි මීළඟ තරගය නොමිලේ නරඹන්න අප ප්‍රවේශ පත්‍ර පවා ලබා දෙනවා' යැයි නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කූමෝ නිව්යෝක් වැසියන්ට පවසා තිබේ.
ඇමෙරිකානුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කීපයක් ලබා දෙයි. 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් ඒ අතරින් කැපී පෙනෙයි. මේ වනවිට ඇමෙරිකන් වැඩිහිටියන්ගෙන් සියයට 56 ක පිරිසකට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. එය මිලියන 145 කි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉලක්කය වී ඇත්තේ, ලබන ජූලි 4 වැනිදා ඇමෙරිකාව ඔවුන්ගේ නිදහස් දිනය සමරද්දී, එන්නත් ලබා දුන් ඇමෙරිකානුවන් ගණන සියයට 70 සීමාව පසු කිරීමටය.
බයිඩන් පරිපාලනය යටතේ ඇමෙරිකාවේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුවත්, බොහෝ ඇමෙරිකානුවන් එන්නත් ලබා ගැනීමට මැලිවන බව පැවැසෙයි. පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් ඇතැම් ඇමෙරිකානුවන් දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මැලිවන බව ද පැවැසෙයි. ඒ, ලේ කැටි ගැසීම් වැනි සංකූලතා හට ගනීවි යැයි බියක් පවතින බැවිනි.
වොෂින්ටනයේදීය (රොයිටර්)