එන්නත් අසල්වැසි දූපත් රටවලටත් බෙදනවා
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිලදී ගෙන නවසීලන්ත වැසියන්ට පමණක් නොව, අසල්වැසි දූපත් රාජ්‍යයන්ට පවා බෙදා දීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා ඇත.
නවසීලන්තය දූපත් රාජ්‍යයක් වන අතර, නවසීලන්තයට ආසන්නව කුඩා දූපත් රැසකි. මේවායේ ජනතාව වාසය කරන අතර, පාසිෆික් සාගර කලාපයේ පිහිටි මෙම දූපත් අයත් වන්නේ නවසීලන්තයටය.
ඊට අමතරව, නවසීලන්තයේ අසල්වැසියන් වන කුඩා දූපත් රාජ්‍යයන් ද තිබේ. ටොංගා, සමෝආ සහ ටුවාලු යනු එම දූපත් රාජ්‍යයන්ය. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර ඇත්තේ, ටොංගා, සමෝආ සහ ටුවාලු වැසියන්ට ද නොමිලේ එන්නත් ලබා දීමට තීරණය කළ බවය.
නවසීලන්තය එන්නතක් සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන්නේ ද නැත. ඊට හේතුව, ලොව ඉතාමත් සාර්ථක අන්දමින්, කොරෝනා වසංගතය පාලනය කරමින්, වයිරස වසංගතය මැද, රටේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කළ රට නවසීලන්තය වීම නිසාය.
කොරෝනා වසංගතය පාලනය කිරීමට සමත් වීම සම්බන්ධයෙන් නවසීලන්ත අගමැතිනියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුම් හිමිවී තිබේ.
නවසීලන්ත රජයේ වැඩි අවධානය යොමු වී ඇත්තේ, ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ හෝ ‘මොඩර්නා’ එන්නත් ගැන නොව, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ සහ ‘නොවැක්’ එන්නත් කෙරෙහිය. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ බ්‍රිතාන්‍යයේ එන්නතක් වන අතර, ‘නොවැක්’ ඇමෙරිකන් ඖෂධ සමාගමක් නිර්මාණය කළ ප්‍රතිශක්තිකරණ එන්නතකි. මෙම එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විත වෙයි.
ඉදිරියේ දී ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා මිලියන 7.8 ක් සහ ‘නොවැක්ස්’ එන්නත් මාත්‍රා මිලියන 10.72 ක් මිලදී ගැනීමට නවසීලන්ත රජයේ සූදානමින් සිටින බව ද වාර්තා වේ.
වෙලිංටන්හිදීය (ඒ.එෆ්.පී.)