උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය උණුසුම්



සමූහ දූෂණයට ලක්වී, දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබ සිටි 23 හැවිරිදි ඉන්දීය තරුණියක මියයෑමත් සමඟ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ උනාඕ දිස්ත්‍රික්කය උණුසුම් වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මෙම තරුණිය සමූහ දූෂණයට ලක් වී ඇත්තේ මීට මාස කීපයකට පෙරය. එම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්, තරුණියගේ පැමිණිල්ලට අනුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ නමුත් මාස දෙකක් ඇතුළතඔවුන්ට ඇප නියම විය.

ඉකුත් දා තරුණියසිය පියාට පවසා ඇත්තේ, සැකකරුවන්ට කඩිනමින් ඇප නියම වූයේ කෙසේදැයි සොයා බැලීමට රේබාරේලී අධිකරණයට යන බවය. දුම්රියෙන් යෑමට ගිය තරුණිය යළි නිවසට නොපැමිණි අතර කිසියම් පිරිසක් ඇයට පහර දී සිරුරට ගිනි තබා තිබුණි. තරුණිය රෝහල් ගත කෙරුණු නමුත් පිළිස්සුම් තුවාල දරුණු වූ බැවින් ඉකුත් සිකුරාදා (6) ඇය ජීවිතක්ෂයට පත් වූවාය.

මෙම තරුණියගේ මරණය පිළිබඳ පුවත පළ වූයේ, තෙලංගානා ප්‍රන්තයේ පශු වෛද්‍යවරිය 26 හැවිරිදි ප්‍රියංකා රෙඞ්ඩි සමූහ දූෂණය කර මරා, සිරුර පුළුස්සා දැමූ සැකකරුවන් සිවු දෙනා පොලිසිය කළ වෙඩි තැබීමෙන් මියයෑමත් සිදුවුණු අවස්ථාවේදීය.

තෙලංගනා පොලිසිය පවසා ඇත්තේ සැකකරුවන් සිවු දෙනා පොලිස් නිලධාරීන්ට පහර දී පැන යෑමට තැත් කළ නිසා වෙඩි තැබූ බවය. මෙය ඉන්දියානුවන් බොහෝ දෙනකුගේ පැසසුමට ලක් වී ඇත. ඉන්දීය දේශපාලනඥයන් පවා යුක්තිය ඉටුවුණු බව පවසා ඇත.

පිළිස්සුම් තුවාල ලබා රෝහලේ දී මියගිය 23 හැවිරිදි තරුණියගේ පියා පවසා ඇත්තේ තම දියණියගේ අපරාධයට සම්බන්ධ සියල්ලෝම ප්‍රසිද්ධියේ එල්ල මරා දැමිය යුතු බවය. නැතිනම් පොලිසිය ඔවුන්ට වෙඩි තැබිය යුතු බවය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS