උච්ඡතම අවස්ථාව පසුකර නෑ



කොරෝනා වයිරස ආසාදිතයන් අතරින් ඉන්දියාව ලොව දෙවැනි ස්ථානයට පත්වුවත් ඉන්දියාවේ කොරෝනා වසංගතය තවමත් උච්ඡතම අවස්ථාවට පත් වී නැතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඊයේ (7) වනවිට ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 4,204,613 කි. මරණ ගණන 71,600 පසු කළේය. ඒ අනුව, වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන දෙවැනි රට බවට ඉන්දියාව පත් වූයේ දෙවැනි ස්ථානයේ සිටි බ්‍රසීලය පසු කරමිණි.

බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 4,137,606 කි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ ගණන 1,26,686 කි. තවමත් ලොව කොරෝනා ආසාදිතයන් වැඩිම රට ඇමෙරිකාවය. ලොව වැඩිම මරණ වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි. ඊයේ (6) වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 6,460,421 කි. මරණ වාර්තා වන්නේ 193,253 ක් ලෙසිනි.

ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු, කර්ණාටක, මහාරාෂ්ට්‍ර සහ ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. පසුගිය සතිය පුරාවට ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 75,000 පසු කළේය.

ඉන්දීය සෞඛ්‍ය අංශ මේ වනවිට දිනපතා වයිරස ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ 1,50,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කරයි. ආසාදිතයන් වැඩි වැඩියෙන් හඳුනා ගැනීම සිදුවන්නේ ඒ අනුවය.

 ඉන්දීය සෞඛ්‍ය අංශ බිය පළ කරන අන්දමට, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉදිරි මාස කීපයේ දී තව තවත් වැඩිවනු ඇති බවත්, කොරෝනා වයිරස ආසාදිතයන් අතරින් ඉන්දියාව ඇමෙරිකාව පසු කරමින් පළමු ස්ථානයට පත් වනු ඇති බවත්ය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS