ඉන්දීය රජයත් ඉන්ධන මිල ඉහළ දමයි



ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මෙම සතියේ දී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නැංවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කර ඇත.

රුසියාව, යුක්රේන ආක්‍රමණය කිරීමත් උද්ධමනය ඉහළ යෑමත් යන කරුණු මුල් කරගනිමින් ඉන්දීය ආණ්ඩුව මෙලෙස ඉන්ධන මිල ගණන් වැඩි කරන්නේ මාස හතරකට පසුව ය.

ආසියාවේ තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 80ක් ආනයනය කරයි.
ඉන්දියාවේ උද්ධමනය ද ක්‍රමයෙන් වැඩි වී තිබෙන අතර අනෙකුත් ආනයනික අමුද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

ඉන්දීය රජය යටතේ තිබෙන ඉන්ධන සමාගම් දේශීය වෙළෙඳපොළ පාලනය කරන අතර එම සමාගම් නොවැම්බර් 4 වැනිදා සිට මිල ගණන් වැඩි කර නොමැත.  උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් පාලක භාරතීය ජනතා පක්ෂයටත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත් සහාය වීම පිණිස එම සමාගම එලෙස මිල වැඩි කිරීමෙන් වැළැකී සිට ඇත.

උත්තර් ප්‍රදේශ් ඡන්ද විමසීම මාර්තු මස 7 වැනිදා අවසන් වීමට නියමිත අතර මේ නිසා තෙල් සමාගම් ඉදිරියේ දී මිල වැඩි කරනු ඇතැයි ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්ධන මිල වැඩි කළහොත් විරෝධතා ඇති වනු ඇතැයි වාර්තා වන අතර කෙසේ නමුත් ඡන්ද විමසීම අවසන් බැවින් අගමැති මෝදිට ඒවායින් සිදුවිය හැකි දේශපාලනම අවදානම ඉතා අඩු යැයි පැවසේ.

ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කරන්නැයි ඉන්දීය විපක්ෂ දේශපාලන පක්ෂ ඉල්ලීම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇත.

ඉන්දීය පාර්ලිමේන්තුව මාර්තු මස 14 වැනිදා රැස්වීමට නියමිත ය.

(රොයිටර්)


RECOMMEND POSTS