ඉන්දීය ජාතික ආපදා බලකායටත් කොරෝනා



ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් 76 දෙනකුට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පැවැසෙයි.

පසුගිය දා ‘අම්ෆාන්’ සහ ‘නිසර්ගා’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටු දෙක ඉන්දියාවට බලපෑම් එල්ල කළේය. එහිදී ජනතාව ආරක්ෂා කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය සහන සැපැයීමටත් මැදිහත් වී කටයුතු කළේ ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරින්ය.

එම නිලධාරීන් 76 දෙනාට අමතරව ඔවුන්ගේ සහායට ආ තවත් 56 දෙනකුට ද ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇත. ඒ අනුව ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ තවත් නිලධාරීන් 190 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට මේ වනවිට ඉන්දීය සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ වනවිට ඉන්දියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත. වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ මුම්බායි නුවරින් සහ නවදිල්ලි අගනුවරිනි. මේ වනවිට සියලුම රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල් රෝගින්ගෙන් පිරී අවසන් යැයි ද පැවැසෙයි.

‘කොවිඞ් 19’ වයිරස වසංගතයෙන් බලපෑම් එල්ල වුණු රටවලින් අතරින් 6 වැනි ස්ථානයේ ඇත්තේ ඉන්දියාවය. නවදිල්ලි ප්‍රාන්ත රජය පසුගිය දා කියා සිටියේ නවදිල්ලි අගනුවර රෝහල්වල ඇඳන් හිමිවනු ඇත්තේ නවදිල්ලි නගරවැසියන්ට පමණක් බවය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS