ඉන්දියාව දිගුදුර මිසයිලයක් අත්හදා බලයි



ඉන්දියාව හමුදාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි ආකාරයේ දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය. ඉන්දියාවේ මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විමසිල්ලෙන් පසුවුණැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය හමුදාව අත්හදා බැලුවේ ‘අග්නි 5’ යනුවෙන් නම් කළ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයයි. මිසයිල අත්හදා බැලීම සිදුවූයේ ඔඩීෂා ප්‍රාන්තයට අයත් ‘අබ්දුල් කලාම්’ දූපතේ සිටය. ‘අග්නි 5’ මිසයිල අත්හදා බැලීම ඉතා සාර්ථකවූ බව නිවේදනය කළේ ඉන්දීය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි ය.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩය අනුව, ‘අග්නි 5’ මිසයිලයට කිලෝ මීටර් 5,400 ක ඉලක්කයකට ඉතා නිවැරදිව යාමට හැකියාව තිබේ. ඉන්දියාව සතු මිසයිල අතරට ‘අග්නි 5’ එක් වනු ඇත්තේ ඉන්දීය හමුදාවේ ශක්තිය තවත් වර්ෂනය කර ගනිමින් යැයි ද පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි පැහැදිලි කර තිබේ.

ඉන්දියාව මෙසේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලුවේ, චීනය සමඟ දේශ සීමා අර්බුදයක් පවතින අවස්ථාවකය. පසුගිය 9 වැනිදා ඉන්දු චීන දේශසීමාවේ දෙරටේ සොල්දාදුවන් ගැටුම් ඇති කර ගත්තේය. ගැටුම හටගත්තේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට මායිම් වූ දේශසීමාවේය. එහිදි දෙපාර්ශ්වයේම හමුදා භටයන් තුවාල ලැබූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවැසුවේය. ඉන්දු චීන දේශසීමාවේ අර්බුදයක් පවතින්නේ 1962 වසරේ සිටය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS