ඉන්දියාවේ කොරෝනා ආසාදිතයෝ ඉහළට



ඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ඊයේ (19) වනවිට 28,37,000 පසු කළේය. ඒ, ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 69,652 ක් හමුවීමත් සමඟය. ඉන්දියාවේ එක් දිනකදී හමුවුණු වැඩිම ආසාදිතයන් ගණන මෙය යැයි එරට සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ.

වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍රයෙනි. ඉන්දියාවේ වෙළෙඳ අගනුවර වන මුම්බායි මහාරාෂ්ට්‍රයේ අගනුවර ද වෙයි. මහාරාෂ්ට්‍රයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 6,28,642 කි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ තමිල්නාඩුවෙනි. තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 3,55,449 කි.

තෙවැනි ස්ථානයේ ඇත්තේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයයි. වාර්තා වන ආසාදිතයන් ගණන 3,16,003 කි.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 22,583,000 තෙක් ඉහළ ගොස් ඇත. මරණ, 8,00,000 ට ආසන්නය.

ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයේ සිටින්නේ බ්‍රසීලයයි. ඉන්දියාව සිටින්නේ තෙවැනි ස්ථානයේය. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 54,004 කි. සුවය ලැබූ ගණන 2,097,331 ක් බව ද පැවැසෙයි.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS