ඇෆ්ගනිස්තානයට ජනපතිවරු දෙදෙනෙක්
ඇෆ්ගන් නව ජනාධිපතිවරයා ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාම දිවුරුම් දුන්හ.
ජනපති ධුරයේ දිවුරුම් දුන්නේ, අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලාය. අෂ්රාෆ් ඝානී 2014 සිට ඇෆ්ගනිස්තානයේ ජනපති ධුරය හොබවා ඇත. අබ්දුල්ලා අබ්දුල්ලා ඇෆ්ගනිස්තානයේ ප්රධාන පෙළේ දේශපාලනඥයෙකි. පසුගිය රජයේ විදේශ ඇමැතිවරයා ලෙසත් ඇෆ්ගන් සංධාන රජයේ ප්රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කර තිබේ.
ඇෆ්ගන් ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බරයේය. ජනපතිවරණයේ ප්රතිඵල නිකුත් කරමින් ඇෆ්ගන් මැතිවරණ කොමිසම නිවේදනය කළේ ජනපතිවරණයෙන් ජයග්රහණය කළේ අෂ්රාෆ් ඝානී බවය. අබ්දුල්ලා අබ්දුල්ලා ජනපතිවරණ ප්රතිඵලය පිළිගැනීම ප්රතික්ෂේප කළේය. ඒ, ජනාධිපතිවරණයේ දූෂණ වංචා සිදුවුණැයි චෝදනා කරමිණි.
ඇමෙරිකන් විශේෂ නියෝජිත කණ්ඩායමක් මැදිහත් වී, අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා අතරේ එකඟතාවක් ඇති කර ගැනීමට උත්සාහ ගත් නමුත් එම උත්සාහය අසාර්ථක වුණැයි පැවැසිණි. ඒ අනුව, ඇෆ්ගනිස්තානයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.
ඇෆ්ගන් නව ජනාධිපතිවරයා ලෙස අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා වෙන වෙනම, ඇෆ්ගන් ජනපති මන්දිරයේ දිවුරුම් දුන් අතර, දෙදෙනා දිවුරුම් දෙද්දී, කාබුල් අගනුවර බෝම්බ කිහිපයක් ද පුපුරා ගියේය.
අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා ජනපතිවරුන් ලෙස දිවුරුම් දුන්නේ, ඇමෙරිකාව සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර සාම ගිවිසුමක් ඇතිකර ගත් අවස්ථාවකය. එම සාම ගිවිසුමට අනුව ඉදිරි දින 10 ඇතුළත ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට නියමිතය.
කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)