ඇමෙරිකාව සහ චීනය නව එකඟතාවයක්



ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ සංචාරයෙන් පසු ඇමෙරිකාව සහ චීනය නව එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

දෙරට අතර තිබෙන එදිරිවාදීකම් අවම කරගනිමින් දෙරට අතර තිබෙන සම්බන්ධතා ශක්තිමත් කරගැනීම උත්සහා කිරීමටත් දෙරට අතර තිබෙන මතභේද ගැටුමක් දක්වා දුරදිග යෑම වළක්වා ගැනීමටත් මෙම නව එකඟතාව ඇති කරගෙන තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින්පින්ග් මුණ ගැසුණු අතර සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් මුණ ගැසීම සඳහා වෙන් කර තිබෙන ශාලාවේදී (Great Hall of the People) එම හමුව සිදුවිය.

මෙම සාකච්ඡාවල ප්‍රගතියක් තිබෙන චීන ජනාධිපතිවරයා පවසා තිබිණි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු, චීන ජනාධිපතිවරයකු මුණ ගැසුණේ වසර 2018න් පසුව ය. චීන ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡවලදී තායිවානය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවැසීය.

දෙරටේ හමුදා අතර නිතර සිදුවිය යුතු සන්නිවේදන කටයුතු මේ වනවට ඇණහිට තිබෙන අතර එය ඇමෙරිකාවට හා චීනයට පමණක් නොව මුළු මහත් ලෝකයටම බලපාන කාරණයකි. එබැවින් දෙරටේ හමුදා අතර සන්නිවේදන කටයුතු නිරන්තරයෙන් පවත්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ සංචාරයේ දී අවධානය යොමු වී තිබෙන අතර ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් ඉදිරි සතිවල චීනයේ සංචාරය කරනු ඇතැයි ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවැසීය.

චීන ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුව විනාඩි 30කට සීමා වී තිබූ අතර මේ වසර අගදි චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවකට මෙමඟින් අඩිතාලම වැටෙනු ඇතැයි බලාපොරොත්තු තබා තිබේ.

ඉකුත් නොවැම්බර් මාසයේ දී ඉන්දුනීසියාවේ බාලි හි පැවැති ජී20 සමුළුවේ දී නායකයෝ දෙදෙනා අවසන් වරට හමුවූහ. දෙරට අතර සන්නිවේදනය නිරන්තරයෙන් පවත්වා ගැනීමට එහිදි එකඟතා ඇති වූ නමුත් තායිවානය සහ ඔත්තු බැලීම් යන කරුණු මුල් කරගනිමින් දෙරට අතර සම්බන්ධතා පළුදු විය.


RECOMMEND POSTS