ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රියාවලිය දුර්වලයි



 

හොර ඡන්ද දැමීමට ඇති හැකියාව ඉහළ යැයි පෙන්වා දෙමින්, ඇමෙරිකානු මැතිවරණ ක්‍රියාවලිය දුර්වල බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ චෝදනා නැගුවේ උතුරු කැරොලිනා හි විල්මින්ටන් නුවර රූපවාහිනී නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘මා උතුරු කැරොලිනා ජනතාවට කියන්න කැමතියි දෙවරක් ඡන්දය දාන්න. මුලින් තැපැල් ඡන්දය දාන්න. ඊට පස්සේ ඡන්ද පොළට ගිහින් ඡන්දය දාන්න. මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් නම්, එක් අයකුට දෙවරක් ඡන්දය දමන්න හැකියාවක් නොලැබිය යුතුයි.’ යැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 3 වැනිදාය. රිපබ්ලිකන් පක්ෂයෙන් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වන අතර, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ට්‍රම්ප්ට අභියෝග කරන්නේ ජෝ බයිඩන්ය.

බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික්වරුන් ‘හොර ඡන්ද දමමින්’ ජනාධිපතිවරණය ජය ග්‍රහණය කිරීමට සූදානම් බවට ට්‍රම්ප් අවස්ථා කීපයකදී චෝදනා කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් බයිඩන් පවසා ඇත්තේ, කොරෝනා වසංගතය නිසාත්, වාර්ගික ගැටුම් නිසාත් ජනතා අප්‍රසාදයට පත් වී සිටින ට්‍රම්ප් පරාජය කිරීමට හොර ඡන්ද දමීමට අවශ්‍ය නොවන බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS