ඇමෙරිකාවේ කොරෝනා වැඩිවෙලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ පැනැවූ තහංචි ලිහිල් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය පියවර ගැනීමත් සමඟ එරට ජනපද කීපයක කොරෝනා ආසාදිතයන් වැඩි වී ඇතැයි පැවැසෙයි.

මේවනතුරු ඇමෙරිකාවෙන් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වූයේ නිව්යෝක් ජනපදයෙනි. තහංදි ලිහිල් කිරීමෙන් පසු ෆ්ලොරීඩා ජනපදයෙන් ද ආසාදිතයන් දිගින් දිගටම වාර්තා වෙයි. ෆ්ලොරීඩාවේ හූස්ටන් නුවර රෝහල් සියල්ල පාහේ ආසාදිත රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ද පැවැසෙයි. ෆ්ලොරීඩාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂය පසු කර තිබේ.
මේ අතර ඇරිසෝනා ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන ඇරිසෝනා ජනපදයේ සෑම වැසියන්ගෙන් පස් දෙනකුගෙන් එක් අයකුට කොරෝනා ආසාදනය වී ඇති බවය.

චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19‘ නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 2,388,153 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ 1,22,610 කි.

ඇමෙරිකාවෙන් වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් සෑම කෙනකුම වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරන බැවිනි. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් පවා මේ අනුව සොයා ගැනීමට හැකි වී ඇත.
කෙසේ නමුත්, පරීක්ෂණ වැඩි කිරීමත්, වැඩි වැඩියෙන් ආසාදිතයන් හඳුනා ගැනීමත් නිසාම ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනයට දොස් අහන්න සිදුවී ඇත. ඒ, වයිරසය ඉහවහා යෑමට ඉඩ දුන්නේ යැයි චෝදනා එල්ල වීමත් සමඟය. මේ නිසා, ආසාදිතයන් සෙවීමට කරන පරීක්ෂණ අඩු කරන්නැයි ජනපති ඩොලන්ඞ් ට්‍රම්ප් පසුගිය දා උපදෙස් දුන්නේය.

නිව්යෝක් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS