ඇමෙරිකාවෙන් තවත් එන්නතක්
‘ෆයිසර්’ සහ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම්වලට අමතරව, ඇමෙරිකාවේ ‘ඉනවියෝ’ නමැති ඖෂධ නිෂ්පාදන සමාගම ද ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වමින් සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරවන එන්නතක් නිපදවා ඇතැයි වාර්තා වේ.
සායනික අත්හදා බැලීම් යටතේ එන්නත ලබා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් කීප දෙනකුට ඊයේ (8) එන්නත ලබා දුන් බවත්, ඔවුන් පූර්ණ වෛද්‍ය අධීක්ෂණයට ලක් කෙරුනු බවත් වාර්තා වේ.
‘ඉනවියෝ’ ඖෂධ සමාගම, ඔවුන්ගේ මෙම එන්නත නිල වශයෙන් නම් කර ඇත්තේ ඉනෝ 4,800 යනුවෙනි. ඉදිරියේ දී සායනික අත්හදා බැලීම් යටතේ අවුරුදු 18 ත් 40 ත් වයස් කාණ්ඩයේ පසුවන තෝරා ගත් ඇමෙරිකනුවන් 400 කට එන්නත ලබා දෙන බව පැවැසෙයි. මෙම එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විත වන අතර, දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසු සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය වෙයි.
ඉනවියෝ සමාගම ඔවුන්ගේ මෙම එන්නත නිපදවා ඇත්තේ ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව මූල්‍ය අනුග්‍රහය යටතේ බව ද පැවැසෙයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)