අල් කයිඩාව තලේබාන් සංවිධානය ඇතුළේ
නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුවත්, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය බිඳ නොවැටුණු බවත් අල් කයිඩා සාමාජිකයන්, ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මත තලේබාන් ත්‍රස්ත සංවිධානය තුළට රිංගා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එද්මුන්ද් ෆිටොන් බ්‍රවුන් පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, තලේබාන් ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනය කරන සහ විමසිල්ලෙන් පසුවන විශ්ලේෂකයකු ලෙස බ්‍රවුන් සැලකෙයි. අල් කයිඩා සංවිධානය තලේබාන් සංවිධානය තුළ ක්‍රියාත්මක බව බ්‍රවුන් පෙන්වා දුන්නේ, පසුගිය දා බීබීසී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
මේ වනවිට තලේබාන් දේශපාලන අංශය ඇමෙරිකාව සමඟත්, ඇෆ්ගන් රජය සමඟත්, සෙසු කලාපීය රටවල් සමඟත් සාම සාකච්ඡා පවත්වා ඇත. එම සාකච්ඡා පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති ඇෆ්ගන් සාම කාර්යාලය හරහාය. තලේබාන් දේශපාලන අංශය සාමයට කැමැත්තක් දැක්වූවත්, තලේබාන් සන්නද්ධ අංශයේ ඇතැම් කණ්ඩායම් තවමත් ප්රචණ්ඩ ක්‍රියා සිදු කරයි. ඒ, ඇරැඹුණු සටන් විරාම පවා උල්ලංඝනය කරමිණි.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වය යටතේ අල් කයිඩා ත්රස්තයෝ මගී ගුවන් යානා යොදා ගනිමින් ඇමෙරිකාවට පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් සැඟවූයේ ඇෆ්ගනිස්තානයේය.
ඇෆ්ගනිස්තානයේ පැවැතියේ තලේබාන් පාලනයකි. ඇමෙරිකාව, සෙසු නේටෝ සාමාජිකයන් ද හවුල් කර ගනිමින්, තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. ඇෆ්ගන් යුද්ධය ඇරැඹුණේ ඒ අනුවය.
පාකිස්තානයේ අබොට්ටාබාද් නගරයේ සැඟවී ජීවත් වුණු බින් ලාඩන් මරා දැමීම සිදුවූයේ 2011 වසරේදීය. ඒ එවකට ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමාගේ උපදෙස් පරිදිය. බින් ලාඩන් ඝාතනය සිදුවූයේ පාකිස්තාන රජයට පවා නොදන්වා හොර රහසේය. බින් ලාඩන් ඝාතනය කළේ ඇමෙරිකන් නේවි සීල් භට කණ්ඩායමකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (බී.බී.සී.)