අර්බුදයට සෘජුව මැදිහත් වෙන්න බෑ



යුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීම, රුසියාවට එරෙහිව යුද්ධයකට මුල පිරීම බවත්, එය තෙවැනි ලෝක යුද්ධය දක්වා පමණක් නොව, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යළිත් වරක් පැහැදිලි කර තිබේ.

යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදා රසායනික අවි භාවිතයට ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙනවා යැයි ඇමෙරිකන් බුද්ධි අංශ බිය පළ කර ඇත. රුසියාව එසේ රසායනික අවි භාවිතයට ගනිමින් පහර දීම් කළොත්, රුසියාවට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි බයිඩන් අවධාරණය කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පවසද්දී, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමැතුමක් දී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වූහ.

මිනිත්තු 75 ක් පුරා පැවැති එම දුරකතන සාකච්ඡාවේදී ජර්මන් චාන්සලර් සහ ප්‍රංශ ජනාධිපති, රුසියන් ජනපති පුටින්ගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් සටන් විරාමයක් ආරම්භ කරන ලෙසය.

රුසියාවත් යුක්රේනයත් අතර හටගත් අර්බුදය යුද්ධයක් තෙක් දුරදිග යෑමට ඉඩ නොතබා සාමකාමී අයුරින් විසඳා ගැනීමට මැදිහත් වී සිටින යුරෝපා රාජ්‍ය නායකයන් දෙදෙනකු වන්නේ ඕලාෆ් ෂොල්ස් සහ ඉමැනුවෙල් මැක්රොන්ය.

යුරෝපා රටවලට තෙල් සහ වායු විකිණීම සිදු කරන ප්‍රධාන රාජ්‍යය වන්නේ රුසියාවය. රුසියානු යුක්රේන යුද ගැටුම් හේතුවෙන් සහ රුසියාවට බටහිර රටවල් එක් වී පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් යුරෝපා රටවල් තෙල් සහ වායු අර්බුදයකට මුහුණ පා සිටී.

මේ අතර මැදපෙරදිග සටන්කාමීන්, රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදාව සමඟත් එරට කැරැලිකාර සන්නද්ධ කණ්ඩායම් සමඟත් සටන් කරනු ඇතැයි යුක්රේනයේ ඩොනෙස්ක් පළාතේ ක්‍රියාත්මක රුසියානු හිතවාදී බෙදුම්වාදීගේ නායකයා වන ඩෙනිස් පුෂ්ලින් පවසා ඇත.

සිරියාව සහ ඉරානය නියෝජනය කරන මැදපෙරදිග සටන්කාමීන් රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධ වනු ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ඇරැයුමකනට අනුව යැයි ද පැවැසෙයි.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ද විදේශිකයන්ට ඇරැයුම් කර ඇත්තේ තම හමුදාව සමඟ එක් වී රුසියානු හමුදාව සමඟ සටනක් වදින ලෙසය. ඒ අනුව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවලින් 20,000 කට වැඩි සටන්කාමීන් පිරිසක් යුක්රේනයට පැමිණ ඇතැයි ද වාර්තා වේ. මොවුන් සියලු දෙනාට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙනවා යැයි ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS