අපේක්ෂකත්වයෙන් ඉවත් වෙන්න



ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට මේ අවස්ථාවේ ඇමෙරිකාව වෙනුවෙන් කළ හැකි එකම සේවය වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඒ සඳහා සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට ඉඩ ලබාදීම බව ඇමෙරිකානු මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් එක හඬින් ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වූ විවාදය අවසන් වී පැය 19 ගතවෙත්ම නිව් යෝර්ක් පොස්ට් පුවත්පතේ කතෘ මණ්ඩලය එම පුවත්පතෙහි මාර්ගගත සංස්කරණයේ කතු වැකියක් පළ කරමින් කියා සිටියේ ජනාධිපති ජෝ බයිඩ්න් වසර 50 කට වැඩි කාලයක් ඇමෙරිකාවට සේවය කර තිබෙන බවත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔහුට කළහැකි හොඳම දෙය නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වීම බවත්ය.

ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය සූදු ක්‍රීඩාවක් බඳුවී ඇති බව විවාදයේ ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇති බවත් ඔහුට වඩා රටට සේවය කළ හැකි බොහෝ දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ සිටින බවත් එම පුවත්පත සඳහන් කළේය.

එසේම ඇමෙරිකාවේ ඉහළ ගරුත්වයක් හිමිකරගෙන තිබෙන ඇට්ලාන්ටික් වෙබ් අඩවියද ජනාධිපති බයිඩ්න්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වී ගෙදර යාමට කාලය එළඹ ඇතැයි පවසමින් ලිපි 6 ක් පසුගියදා පළ කර තිබිණි. එසේම එම්.එස්.එන්.බී.සී නාලිකාවේ මෝර්නින්ග් ජෝ වැඩසටහන මෙහෙයවූ නිවේදකයාද ප්‍රසිද්ධියේ මෙම මතය ජනගත කර ඇත.

ජනාධිපති බයිඩ්න් ඇට්ලන්ටාහි පැවැත්වූ විවාදයේදී දැක්වූ දුර්වලතා හේතුවෙන් ඔහුට ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට තව දුරටත් හැකියාවක් නැතැයි බොහෝ දෙනාගේ මතය වූවේය. වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර පසුගිය 27 වැනිදා පැවැති විවාදය සමස්ථයක් ලෙස මිලියන 51.3 ක ජනතාවක් නරඹා තිබිණි. නමුත් එය 2020 වසරට වඩා අඩු ප්‍රතිශතයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


RECOMMEND POSTS