අගමැති මාරියෝ විශ්වාසභංගය ජයගනී



ඉතාලි පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය පරාජය කිරීමට අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සමත් වුවත්, අග්‍රාමාත්‍යවරයාට සිය සන්ධාන රජය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ඒ, සන්ධාන රජයේ ප්ර්ධාන දේශපාලන කණ්ඩායම් කීපයක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බැවිනි. පෙරේදා (20) සෙනෙට් මණ්ඩලයට යොමු කෙරුණු විශ්වාසභංගයේ දී අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී දිගටම ධුරයේ සිටිය යුතු යැයි පෙන්වා දෙමින්, ඔහුගේ සන්ධාන රජයට පක්ෂව ඡන්ද 95 ක් සහ විපක්ෂව ඡන්ද 36 ක් හිමිවිය. ඉතාලි සෙනෙට් මණ්ඩලය ආසන 315 කින් සමන්විතය.
මාරියෝ ඩ්‍රාගී අග්‍රාමාත්‍ය ධුරයට පත් වී සන්ධාන රජයක් පිහිටුවූයේ මීට මාස 17 කට පෙරය. එය බිඳ වැටීමට පටන් ගත්තේ  සන්ධානගත වුණු දේශපාලන පක්ෂ අතරේ පැවැති මත ගැටුම් හේතුවෙනි. සන්ධානගත පක්ෂ අග්‍රාමාත්‍යවරයාට චෝදනා නගා ඇත්තේ ජනතාවගේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබා දීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවය.

ඩ්‍රාගීගේ රජය බිඳ වැටෙන්නේ නම්, පාර්ලිමේන්තුව විසුරුවා එලැඹෙන සැප්තැම්බරයේ යළි මහ මැතිවරණයක් පැවැත්වීමට ඉතාලි ජනාධිපති සර්ගේ මැටරෙල්ලා කටයුතු කරනු ඇත.

තමන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි මාරියෝ ඩ්‍රාගී, ජනාධිපති සර්ගේ මැටරෙල්ලාට පැවැසුවේ පසුගිය සතියේය. කෙසේ නමුත් ඩ්‍රාගීගේ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. සෙනෙට් මණ්ඩලය හමුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS