මුස්ලිම් පුරපති මම්දානී



ඇමෙරිකාවේ අතුරු මැතිවරණ පැවැත්වෙයි. මේ වනවිට මැතිවරඛ කීපයක් පවත්වා අවසන්ය. ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන්නේ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂයයි. බලයේ සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන්න්, රිපබ්ලිකන් පක්ෂයයි. පසුගිය 2024 වසරේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළේ විශිෂ්ඨ ජනවරමකිනි. මෙම වසරේ ජනවාරියේ, සිය දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපති පුටුවේ අසුන් ගත් ට්‍රම්ප්, විධායක නියෝගවලට අස්සන් තබමින් පෙරැළිකාර තීන්දු තීරණ රැසක් ක්‍රියාවට නැංවීය.

මේවනවිට ඇමෙරිකාවේ පැවැත්වෙන අතුරු මැතිවරණ ට්‍රම්ප් ජනප්‍රියත්වය උරගා බැලීමක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  නිව්ජර්සි සහ වර්ජීනියා යන ජනපදවල ආණ්ඩුකාරවරයා තෝරා ගැනීමට මැතිවරණ පැවැත්විණි. ඊට අමතරව, නිව්යෝක් නුවර නගරාධිතිවරණය පැවැත්විණි. මෙම මැතිවරණ තුනෙන්ම රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත් වූ අතර ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයට ජය හිමිවිය. නිව්ජර්සි ජනපදයේ ආණ්ඩුකාර ධුරයට පත්වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික මිකී ෂෙරිල්ය. ඒ සියයට 56 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. වර්ජීනියා ජනපද ආණ්ඩුකාර ධුරයට පත්වූයේ ඇබිගයිල් ස්පෑන්බර්ගර්ය.

කාගේත් කතාබහට ලක් වූයේත්, මුළු ලෝකයේම අවදානය දිනා ගත්තේත්, නිව්යෝක් නගරාධිපතිවරණයයි. නිව්යෝක් යනු ඇමෙරිකාවේ වඩාත් ජනාකීර්ණ නගරයයි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ නගරයක් ලෙස සැලකෙන්නේ ද නිව්යෝක්ය. ලෝකයේ සංස්කෘතික, මූල්‍ය සහ මාධ්‍ය කේන්ද්‍රස්ථානය ලෙස නිව්යෝක් සැලකෙයි. වාණිජ්‍ය, විනෝදාස්වාදය, තාක්‍ෂණය, අධ්‍යාපනය, දේශපාලන, කලා, විලාසිතා සහ ක්‍රීඩා ආදී අංශවලින් කැපී පෙනෙන නගරයක් ලෙස ද නිව්යෝක් සැලකෙයි. නිව්යෝක් නුවර ජනගහනය මිලියන 8.6 කි. නිව්යෝක් ප්‍රධාන නගරය, නගරසභා පහකට බෙදෙයි. ඒවා නම්, මෑන්හැටන්, බෲක්ලින්, ක්වීන්ස්, ද බ්‍රොන්ක්ස්, ස්ටේටන් අයිලන්ඩ්යත මෙම සෑම නගර සභාවක්ම නිව්යෝක් ජනපදයේ, වෙනම ප්‍රාන්තයකි. 1898 දී සියලු නගරසභා එක් කරමින් නිව්යෝක් ලෙස එක් නගරසභාවක් පිහිටුවීය.

නිව්යෝක් නගරසභා මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ඇන්ඩෲ කූමෝ සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක සොහ්රාන් මම්දානීය. මම්දානී, නගරාධිපතිවරණය ජයග්‍රහණය කළේ සියයට 50.4 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. රිපබ්ලිකන් ප්‍රතිවාදියා ඇන්ඩෲ කූමෝ ට දිනා ගැනීමට හැකි වූයේ සියයට 41 ක් පමණි.

34 හැවිරිදි මම්දානී, නිව්යෝක් නගරයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයාය. සියවසකට අධික කාලයක් තුළ එම ධුරය සඳහා ජනවරමක් හිමි ළාබාලතම නගරාධිපතිවරයා ද වෙයි. එබැවින්, සොහ්රාන් මම්දානී ලැබූ මෙම ජය ඓතිහාසිකය. මම්දානී, නගරාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇත්තේ ලබන ජනවාරියේය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයකු පමණක් නොව, මුස්ලිම් නගරාධිපතිවරයකු නිව්යෝක් නගරයට පත්වීම ජනපති ට්‍රම්ප්ට එල්ල වුණු අතුල් පහරකි. ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේ, කෙසේ හෝ ඇන්ඩෲ කූමෝ ජයග්‍රහණය කළ යුතු බවය. ඔබ පෞද්ගලිකව ඇන්ඩෲ කුඕමෝට කැමති වුවත් නැතත්, ඔබට ඇත්තට ම වෙනත් විකල්පයක් නැහැ. ඔබ ඔහුට ඡන්දය දිය යුතු යි.’ මේ ට්‍රම්ගේ වචන ය. එහෙත්, ඇන්ඩෲ කූමෝ ජයග්‍රහණය කළේ නැත.

අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා අගනුවර, උපත ලැබූ මම්දානි, වයස අවුරුදු හතේදී ඔහුගේ පවුලේ අය සමඟ නිව්යෝක් නගරයට වෙත සංක්‍රමණය විය. ඔහු බ්‍රොන්ක්ස් හි උසස් විද්‍යා පාසලට ඇතුළත් වූ අතර, පසුව බෝඩන් විද්‍යාලයෙන් අප්‍රිකානු ඩයස්පෝරා අධ්‍යයනය පිළිබඳ උපාධියක් හිමිකර ගත්තේය. එහිදී ඔහු පලස්තීනයේ යුක්තිය සඳහා වූ ශිෂ්‍යයන්ගේ විශ්වවිද්‍යාල ශාඛාවේ සම-ආරම්භකයා බවට ද පත් විය. මම්දානී පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පමණක් නොව, නිව්යෝක් නගරයේ නගරාධිපති ධුරයට පත් වුණු දකුණු ආසියානු නගරාධිපතිවරයා ද වෙයි. මම්දානී, හොඳින් උර්දු බස කතා කළ හැකිය. ඊට අමතරව, ඔහුට ස්පාඤ්ඤ බස ද පුළුවනි.

මම්දානිගේ බිරිඳ 27 හැවිරිදි සිරියානු කලාකාරිනියක වන රාමා දුවාජිය. ඇය බෘක්ලින් පදිංචිකාරියකි. දෙදෙනා එකිනෙකා හඳුනා ගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි. දෙදෙනාගේ විවාහය සිදුවූයේ මෙම 2025 වසර මුලදීය. මම්දානිගේ ජයග්‍රහණයත් සමඟ ඇගේ මව කවුරුන්දැයි යන්න අනාවරණය විය. මම්දානිගේ මව යනු කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂවරියක මෙන්ම නිෂ්පාදිකාවක ද වන මීරා නයර් ය. මම්දානිගේ පියා මහාචාර්ය මහමූද් මම්දානි කොලොම්බියාවේ ඉගැන්වීම් කටයුතුවල නිරත වෙයි. මහමූද් මම්දානි මෙන්ම, මීරා නයර් ද හාවඩ් උපාධිධාරීහු වෙති. ‘සලාම් බොම්බේ’, ‘මිසිසිපි මසාලා’, ‘මොන්සූන් වෙඩිං’ සහ ‘කාම සූත්‍ර - අ ටේල් ඔෆ් ලව්’ යනු මීරා නයර්ගේ ප්‍රකට සිනමා නිර්මාණය.

දේශපාලනයට පිවිසීමට පෙර, මම්දානි නිවාස උපදේශකයකු ලෙස සේවය කළ අතර, ක්වීන්ස් හි අඩුආදායම්ලාභී නිවාස හිමියන්ට නෙරපා හැරීම්වලට එරෙහිව සටන් කිරීමට උපකාර කළේ යැයි ද පැවැසෙයි. ඔහු ඔහුගේ ආගම වන ඉස්ලාම් ධර්මය ද මැතිවරණ ව්‍යාපාරයේ දෘශ්‍යමාන කොටසක් බවට පත්කර ගත් බව පැවැසෙයි. ඔහු නිතිපතා මුස්ලිම් පල්ලි යන අතර, නිව්යෝක් නගරයේ ජීවන වියදම් අර්බුදය පිළිබඳව උර්දු භාෂාවෙන් ප්‍රචාරක වීඩියෝවක් පවා නිකුත් කළේය. ‘මුස්ලිම් ජාතිකයකු ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටීම කියන්නේ එලෙස නොපෙන්විමෙන් ලැබෙන ආරක්ෂාව අනතුරේ හෙළීමක්’ යැයි මම්දානි වරක් පවසා ඇත. මම්දානී, පලස්තීන හිතවාදියෙකි. නිව්යෝක් නගරයේ ඊශ්‍රායල යුදෙව් විරෝධයට ඉඩක් නොමැති බව ද මම්දානි නිතර පවසා ඇති අතර, තමා තේරී පත් වුවහොත්, වෛරී අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා අරමුදල් වැඩි කරන බව ද පවසා ඇත. මම්දානිගේ ප්‍රතිවාදියා ඇන්ඩෲ කූමෝ, ප්‍රසිද්ධියේ පලස්තීනුවන්ට එරෙහිව අදහස් දැක්වීමක් කර ඇති අතර, ඔහු සෘජුව ඊශ්‍රායලයට සහාය දක්වන අයෙකි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS