මලාලා යූසොෆ්සායි විවාහ ගිවිස ගනී
කාන්තා අයිතීන් සහ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන, නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ ජගත් මානව ක්‍රියාකාරිනියක වන මලාලා යූසොෆ්සායිගේ විවාහ ගිවිස ගැනීම, ඉස්ලාමීය 'නිකා' චාරිත්‍රවලට අනුව, ඉතාමත් චාම් අයුරින්, බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවරදී පැවැත්විණි.
තම ජීවන සහකරු ලෙස තමන් පාකිස්තාන ජාතික අසර් මලික් තෝරා ගත් බව, විවිහ ගිවිස ගැනීමේ ඡායාරූප සිය පළ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් 24 හැවිරිදි මලාලා යූසොෆ්සායි පවසා තිබේ.
මලාලා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියක ද වෙයි. වර්තමානයේ ඇය ඇගේ මව පියා සහ සොහොයුරා සමඟ ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරය. මලාලා යූසොෆ්සායි පාකිස්තානුවෙකි. ඇය උපන්නේත් හැදී වැඩුණේත් පාකිස්තානයේ ස්වාත් නිම්නය ආශ්‍රිතවය.
මලාලා ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තේ 2012 වසරේදීය.
ඒ, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් පාකිස්තාන් තලේබාන් ත්රස්තවාදීන්ට එරෙහිව හඬ නැගීමේ වරදට, තලේබාන් තුවක්කුකරුවකු ඇය ගමන් කරමින් සිටි පාසල් බස් රියට ගොඩ වී ඇය අසලට පැමිණ ඇගේ හිසට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුවය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 15 කි. තලේබාන්වරු බාලිකා අධ්‍යාපනයට විරෝධය දක්වති.
බරපතල තුවාල ලැබූ මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගෙන ඒම සිදුවූයේ එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ උපදෙස් අනුවය. මලාලා පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගුවේ, ගුරුවරයකු ලෙස කටයුතු කළ ඇගේ පියා සමඟ එක් වී, බීබීසී උර්දු ගුවන් විදුලි සේවය ඔස්සේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේත් රජයේත් අවධානය මලාලාට හිමිවූයේ ඇය බීබීසී උර්දු සේවයට සම්බන්ධ වී සිටි බැවිනි. මලාලා සමඟ ඇගේ පවුලේ සාමාජිකයන් ද ලන්ඩන් නුවරට පැමිණි අතර ඔවුන්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ද හිමිවිය.
ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු මලාලා එක්සත් ජාතීන්ගේ මානව ක්‍රියාකාරිනියක සහ තානාපතිවරියක ලෙස බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩසටහන් රැසකට සම්බන්ධ වූ අතර, ඇය ලෝක ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය. මලාලා, නොබෙල් සාම ත්‍යාලයෙන් පිදුම් ලැබුවේ 2014 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17 කි. නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම තැනැත්තා වන්නේ ද මලාලා ය.
මලාලාගේ අත ගත්තේ ද පාකිස්තානුවෙකි. ඔහු අසර් මලික් ය. අසර් මලික් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස රාජකාරි කරයි. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර, ක්‍රිකට් සමාජ කීපයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් ක්‍රීඩා සමාජ සභාපතිවරයකු ලෙසත් අසර් මලික් කටයුතු කර ඇත.
මලාලා සහ අසර් එකිනෙකා එකිනෙකා හඳුනා ගනිමින් පෙම්වතුන් වූයේ කවදාදැයි මාධ්‍ය වාර්තා කර නැත. ඊට හේතුව ඒ විස්තර කිසිවක් ප්‍රසිද්ධියට පත් වී නොමැති බැවිනි. කෙසේ නමුත් 2019 ජුනි මාසයේ, බර්මින්හැම් එඩ්ගැස්ටොන් ක්‍රීඩාංගනයේ පැවැති ක්‍රිකට් තරගයක් නැරැඹීමට මලාලා ද ගොස් සිටියාය. එම තරගය පැවැති අවස්ථාවේ, අසර් මලික් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධ කළ සෙල්ෆි ඡායාරූපවල මලාලා ද සිටිනු දැකිය හැකි විය.
අසර්, ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි. අසර් අධ්‍යාපනය ලැබුවේ 2008 සිට 2012 තෙක් කාලයේය. වේදිකා නාට්‍ය නිෂ්පාදන ආයතනයක් වන 'ඩ්‍රීම්ලයින්' සමාගමේ සභාපති ධුරය හොබවන්නේ ද අසර් යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඒ.ඒෆ්.පී.)