පාපන්දු පිටියේ රන් කකුල්



ලොව පුරා විසිරී සිටින බිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ හදගැස්ම බවට පත්ව ඇති, ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවය. තණනිල්ල මත දිව යන ක්‍රීඩකයන් සහ පාපන්දුවක් වටා ගෙතුණු මෙම ක්‍රීඩාව, අද වන විට හුදු ක්‍රීඩාවක් පමණක් නොව අති දැවැන්ත ව්‍යාපාරයක් බවට ද පත්ව අවසන් යැයි කීවොත් එය නිවැරදිය. මෙම දැවැන්ත ව්‍යාපාරයේ වටිනාම සම්පත වන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයි. විශේෂයෙන්ම, පාපන්දු ක්‍රීඩකයෙකුගේ මුළු ජීවිතයම සහ ඔහුගේ වටිනාකම තීරණය වන්නේ ඔහුගේ දෙපා මතය. පිටිය මැද පන්දුව සමඟ සිදුකරන දෑස් අදහාගත නොහැකි විස්කම්, එක් අවාසනාවන්ත ආබාධයකින් නිමාවට පත්විය හැක.

පාපන්දු ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයන්ට, ඔවුන්ගේ ශරීරය, විශේෂයෙන් ඔවුන්ගේ පාද මහා ධන සම්පතකි. පාපන්දු පිටියේ පෙන්වන දස්කම් මත මුළු ක්‍රීඩා සමාජයකම සහ රටකම ජයග්‍රහණය තීරණය වෙයි. මේ හේතුව නිසාම, වර්තමාන පාපන්දු තරු සිය පාද සඳහා ලබාගෙන ඇති රක්ෂණාවරණ ඇසූ සැණින් ඕනෑම අයකු මවිතයට පත් කරවයි. මේ නිසාම, ලොව සුපිරි පාපන්දු තරු තම වටිනාම අවයවය වන 'පාද' රුපියල් කෝටි දහස් ගණනක මුදලකට රක්ෂණය කිරීමට පෙලඹී සිටිති.

ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පුවත් මවන්නේ ක්‍රීඩා පිටියේ පමණක් නොවෙයි. පසුගිය දා ඔහු ඉන්දියාවට පැමිණි අවස්ථාවේ මහා කලබගෑනියක් සිදුවිය. මෙසී, ඉන්දියාවේ කොල්කටා නුවරට පැමිණියේ තෙදින සංචාරයකටය. මෙසී, මෙසේ ඉන්දියාවට පැමිණියේ වසර 14 කට පසුවය. මෙසී වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ද යෙදවුණු අතර, ඔහු දැක ගැනීමට ඉන්දීය පාපන්දු ක්‍රීඩා ලෝලීන් දස දහස් ගණනින්, ඔහු යන එන තැන්වල එක්රොක් වී සිටිනු දකින්නට ලැබුණි. මෙසී හරිහැටි දැක බලා ගැනීමට නොහැකි වූ මෙසීගේ ඉන්දියානු රසික රසිකාවියෝ කලහ කරමින්, ක්‍රීඩාංගනයනට පවා හානි සිදු කළහ. අලුත බැඳපු එක් යුවළක්, ඔවුන්ගේ මධුසමය පවා පැත්තකට දමා මෙසී දැක ගැනීමට පැමිණ සිටි අතර, ආපසු ගියේ බලාපොරොත්තු සුන් වීමෙනි.

ලොව මිලෙන් වැඩිම ශරීර අවයවය ඇත්තේ මෙසීට යැයි කීවොත් එය නිවැරදිය. පාපන්දු ඉතිහාසයේ වැඩිම මුදලකට රක්ෂණය කර ඇති පාදය වන්නේ, ලයනල් මෙසීගේ වම් පාදයයි. පාපන්දු පිටියේ පෙරැළි කරන මෙසී වම් පාදය වෙනුවෙන්, රක්ෂණ සමාගම් ඊට ලබා දී ඇත්තේ අදහාගත නොහැකි වටිනාකමකි. මෙසීගේ වම් පාදය රක්ෂණය කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 900 කටය. මෙම මුදල රුපියල්වලින් නම්, රුපියල් කෝටි 27,000 කට වඩා වැඩිය.

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, සැමවිටම ඔහුගේ ශරීරයේ යෝග්‍යතාව ගැන දැඩි ලෙස සැලකිලිමත් වන අයෙකි. රොනාල්ඩෝ, රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රීඩා කළ කාලයේදී එම ක්‍රීඩා සමාජය විසින් ඔහුගේ පාද යුගළ රක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. ඒ, ඇමෙරිකන් ඩොලර් මිලියන 144 කටය. මෙම මුදල රුපියල්වලින් නම්, රුපියල් කෝටි 4,320 කට වැඩිය.

සුපිරි දක්ෂතා පෙන්වන සුපිරි පාපන්දු ක්‍රීඩකයන්ගේ පාද රක්ෂණය කිරීම එක්තරා ආකාරයක සම්ප්‍රදායකි. මෙය මෙසීට හෝ රොනාල්ඩෝට පමණක් සීමා නොවෙයි. එංගලන්තයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්, පාපන්දු පිටියේ දස්කම් පාද්දී, ඔහුගේ පාද පමණක් නොව ඔහුගේ සම්පූර්ණ ශරීරයම රක්ෂණය කර තිබුණේය. එය එකල වාර්තාවක් වූ අතර එහි වටිනාකම ඩොලර් මිලියන 195 කි.

පාපන්දු පිටියේ වේගවත්ම ක්‍රීඩකයෙකු ලෙස සැලකුණු ගැරත් බේල්ගේ පාද ද ඩොලර් මිලියන 126 ක රක්ෂණාවරණයකට යටත් කර තිබුණි. ගැරත් බේල්, පාපන්දු ඉතිහාසයේ බිහි වූ වේගවත්ම සහ දක්ෂතම ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස සැලකෙයි. වේල්ස් ජාතිකයකු වන ඔහු, විශේෂයෙන්ම රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දස්කම් නිසා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී සිටී.

පාපන්දු පිටියේ ගෝල් රකින්නෙකු ලෙස දක්ෂතා පෙන්වන මැනුවෙල් නෝයර්, ඔහුගේ පාදවලට වඩා දෑත්වලට වැඩි අවධානය යොමු කර තිබේ. මැනුවෙල් නෝයර්ගේ දෑත් රක්ෂණය කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක මුදලකටය. ජර්මානු ජාතිකයකු වන නෝයර් සාම්ප්‍රදායික ගෝල් ක්‍රීඩකයකුට අභිභවා ගිය සුවිශේෂී ක්‍රීඩකයෙකි.

පාපන්දු ක්‍රීඩකයකු යනු විශාල මූල්‍ය වටිනාකමක් සහිත ආයෝජනයකි. ඔවුන්ට පිටියේදී සිදුවන එක් සුළු අනතුරක් පවා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය නිමා කිරීමට හේතු විය හැකිය. එවැනි අවස්ථාවක ක්‍රීඩකයාට සහ ඔහු නියෝජනය කරන ක්‍රීඩා සමාජයට සිදුවන මූල්‍යමය පාඩුව පියවා ගැනීමට මෙම රක්ෂණාවරණ උපකාරී වේ. අද පාපන්දු ක්‍රීඩාව යනු ක්‍රීඩාවක් පමණක් නොව, මෙවැනි ‘රන් පාද’ මත රඳා පවතින බිලියන ගණනක ව්‍යාපාරයක් බව නොරහසකි.

මෙවැනි රක්ෂණාවරණයක් ලබා දීමේදී රක්ෂණ සමාගම් ක්‍රීඩකයන්ට දැඩි කොන්දේසි පැනවීම ද සිදුවෙයි. රොනාල්ඩෝ හෝ මෙසී වැනි ක්‍රීඩකයකුට හිම මත ලිස්සා යෑම, මෝටර් සයිකල් පැදීම හෝ පැරෂුට් මගින් පැනීම වැනි අනතුරුදායක ක්‍රියා තහනම්ය. එවැනි ක්‍රියාවකදී අනතුරක් වුවහොත් රක්ෂණ මුදල හිමි වන්නේ නැත. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව හරිම වැදගත් වෙයි. පාපන්දු ක්‍රීඩකයන් නිතරම වෛද්‍ය පරීක්ෂණවලට භාජනය විය යුතු අතර ශරීරයේ බර නිසි මට්ටමේ පවත්වා ගත යුතුය. අනුමත නොකළ පුණ්‍යාධාර හෝ ප්‍රදර්ශන තරඟවල ක්‍රීඩා කිරීමේදී පවා විශේෂ අවසරයක් ලබා ගැනීම කළ යුතුය.

පාපන්දු ක්‍රීඩකයකු වෙළෙඳ සන්නාමයක් ද වෙයි. ඔවුන් පිටියේ සිටින සෑම මිනිත්තුවක්ම ක්‍රීඩා සමාජයට සහ අනුග්‍රාහකයන්ට මුදල් උපයා දීම සිදුවෙයි. ඔවුන් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුවහොත්, ප්‍රවේශ පත්‍ර අලෙවියේ සිට රූපවාහිනී විකාශන අයිතිය දක්වා සියල්ලටම එය බලපෑමක් සිදුවෙයි. එබැවින් මෙම රක්ෂණ මුදල එම අවදානම කළමනාකරණය කරන ආරක්ෂක දැලකි. අද ක්‍රීඩාව යනු දක්ෂතාව පමණක් නොව, මෙවැනි බිලියන ගණනක වටිනාකම්වලින් සුරක්ෂිත වූ දැවැන්ත කර්මාන්තයකි.


RECOMMEND POSTS