නිදාවරා වැඩ කර මියයෑම



ජපානය ආසියාවට අයත් දූපත් රාජ්‍යයකි. ජපානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ජිමින්ටෝ හෙවත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයයි. 1955 වසරේ දී පිහිටුවූ මෙම හෙවත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය, ගතානුගතික සහ ජාතිකවාදී පක්ෂයකි. වර්තමානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය රජයක් පිහිටුවා ඇත්තේ එල්.ඩී.පී. පක්ෂය සමඟ සන්ධානගතවය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ පාලක පක්ෂ නායකයාය. පාලක පක්ෂය සිය නායකයා තෝරා ගැනීම සිදු කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමකිනි. ඒ අනුව, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නව නායකයා බවට පත්ව සිටින්නේ කාන්තාවකි.

කාන්තාවක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය නායකත්වයට පත්වුණු පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම කාන්තාවක ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. ඇය 64 හැවිරිදි සනායේ තකාඉචි ය. අග්‍රාමාත්‍ය සනායේ තකාඉචි පසුගිය දා සිය අමාත්‍ය මණ්ඩලය හමුවූවාය. ඒ, අයවැය කාරක සභා විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. රටක රාජ්‍ය නායකයකු අමාත්‍ය මණ්ඩල හමුවක් පැවැත්වීම අරුමයක් නොවෙයි. ඒත්, ජපන් අග්‍රාමාත්‍යවරියගේ මෙම අමාත්‍ය හමුව සුවිශේෂී එකක් විය. ඒ, එම හමුව පැවැත්වුණු වේලාව නිසාය. ජපානයේ බොහෝ දෙනා ගොරව ගොරවා තද නින්දේ පසුවෙද්දී, අග්‍රාමාත්‍යවරිය සිය අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇගේ කාර්යාලයට කැඳවීය. ඒ, අලුයම 3 ටය. එපමණක් නොවෙයි, මේ හමුව පැවැත්වීමට සියල්ල සැලසුම් කළේ ඊට පැය 6 කට පෙරය.

අග්‍රාමාත්‍ය සනායේ තකාඉචිට අනුව ද මෙය අරුමයක් නොවෙයි. තකාඉචි, වැඩ කරන දේශපාලනඥයෙකි. ‘සද්දේ නැහැ; වැඩ විතරයි‘ දේශපාලනඥයෙකි. ජපන් වැසියන් බොහෝ දෙනකු මෙන්ම, සනායේ තකාඉචි ද වෙහෙස නොබලා මහන්සි නොබලා විවේකය ගැන නොසිතා වැඩ කරන තැනැත්තියකි. සනායේ තකාඉචිගේ මෙන් නොව, ජපාන වැසියන් බොහෝ දෙනකුගේ ආදර්ශ පාඨය වන්නේ ‘වැඩ කරමු. වැඩ කරමු. වැඩ කරමු’ යන්නය. අග්‍රාමාත්‍යවරිය තකාඉචිට අනුව ඇය දවසේ නිදා ගන්නේ පැය දෙකකි. ඇතැම් වෙලාවට ඇය පැය 4 ක් නිදා ගනී. ඒ වැඩ අඩු නම් පමණි. තකාඉචි පවසන ආකාරයට එවැනි අවස්ථාවක් උදා වන්නේ කලාතුරකිනි. අඩු නින්ද තමන්ගේ සෞඛ්‍යයට අහිතකර බවත්, තමාගේ සමට, මනසට අහිත කර බවත් තකාඉචි දනී. ඇය ඒ බව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත. ඒත් දේශපාලනඥයකු ලෙස; පිළිගත් ප්‍රවීණ දේශපාලනඥයකු ලෙස මේ අඩු නින්දේ ජීවන රටාව, තකාඉචිව සාර්ථකත්වය නැමැති මාර්ගයේ ඉහළට රැගෙන යෑමට සමත් වී අවසන්ය. අද ඇය ජපන් අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරය දරන්නේ ද මහන්සිවී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. තමන් මේ අයුරින් ලැබූ මෙම වෘත්තීය ජයග්‍රහණය, තම සගයන්ට ද ලැබිය යුතු බව තකාඉචිගේ විශ්වාසයයි. තකාඉචි සැමවිටම සිය පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලන්නේ වෙහෙස නොබලා වැඩ කරන්න යන්නය. අග්‍රාමාත්‍යවරිය මෙසේ දිවා රෑ නොබලා නිදි නැතිව වැඩ කිරීම, ජීවිතය සාර්ථක කර ගැනීම සහ ජීවිතය ජය ගැනීම ගැනීමට හොඳ උදාහරණයකි. ඒත් මෙහි අඳුරු පැත්තක් ඇත.

සෘතු අනුව වෙනස්කම් සිදු වුවත්, සාමාන්‍යයෙන් ජපානයට වේලාසනින් හිරු උදා වෙයි. එ් උදෑසන 5 ත් 7 ත් අතරේය. ‘ජපනා හපනා’ වී ඇත්තේ නිදි නැතිව වෙහෙස නොබලා වැඩ කරන බැවිනි. ජපානයේ සාර්ථකත්වය ද එයයි. ඒත් නිදි වැරීම, අඩු නින්ද කිසිසේත් ශරීර සෞඛ්‍යයට හොඳ නැත. ‘කරෝෂී’ යනුවෙන් ජපන් වදනක් ඇත. ‘කරෝෂී’ යනු නිදිවරා මරණයට පත් වීමය. ‘කරෝ’ යනු අධික ලෙස වැඩ කිරීමය. ‘ෂී’ යනු මරණයයි. ‘කරෝෂී’ යනුවෙන් වෙනම වදනක් තිබීම, නිදිවරා වැඩ කිරීම නිසා වෙහෙසට පත් වී මියයෑම කොතරම් සමාජය හා බැදුණු දෙයක් ද යන්න සනාථ වෙයි. 

ජපානය ආර්ථික වශයෙන් ඉතා වේගයෙන් දියුණු වීමට පටන් ගත්තේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. ‘කරෝෂී’ කරළියට පැමිණීම ආරම්භ වූයේ ජපානය එසේ දියුණුවෙන් දියුණුවට පත් වේදදී, එනම් 1970-80 දශකවලය. ජපන් සේවකයන්, ඔවුන් රැකියාව කරන සමාගමට, ආයතනයට කැප වී මහන්සි වී, නිවාඩු පවා නොගෙන දීර්ඝ වේලාවක් වැඩ කරන්නේ නම්, එම සේවකයන් ඉතා ඉහළින් අගය කිරීම සිදුවෙයි. වරප්‍රසාද සහ තනතුරු හිමිවෙයි. ඒ අනුව, ‘කරෝෂී’ සාමාන්‍ය දෙයක් බවට පත්විය. ‘කරෝෂී’ යනු හුදෙක් දීර්ඝ කාලයක් වැඩ කිරීමෙන් ඇතිවන වෙහෙසකාරී බවක් නොවේ. එය නිල වශයෙන් පිළිගත් වෛද්‍ය තත්වයක් වන අතර, ආඝාත සහ අධික ලෙස වැඩ කිරීම නිසා ඇතිවන ආතතිය සහ වෙහෙස හේතුවෙන් හෘදයාබාධ හේතුවෙන් ආඝාත තත්වයකින් හෝ හෘදයාබාධයකින් හෝ හදිසි මරණයකට ගොදුරු වීමය.

‘කරෝෂී’ සඳහා පොදුවේ පිළිගත් නිර්වචනයක් වන්නේ, සේවකයකු යම් කාල සීමාවක් තුළ (සාමාන්‍යයෙන් මරණයට පෙර මාසයකට හෝ සතියකට) අධික ලෙස අතිකාල වැඩ කිරීමය. විශේෂයෙන්ම, මරණයට පෙර මාසයක් තුළ පැය 100 කට වැඩි අතිකාලයක් හෝ මරණයට පෙර මාස 2-6 අතර කාලය තුළ සාමාන්‍යයෙන් පැය 80කට වැඩි අතිකාලයක් වැඩ කර ඇත්නම්, එය කරෝෂී ලෙස පිළිගැනෙයි.

අද සාමාන්‍ය ජපන් වැසියකු පැය 7 ක් නිදා ගන්නේ නැත. අනෙක් ලෝකවාසීන්ට වඩා එය මිනිත්තු 38 ක් අඩුය. 8-5 රාජකාරි කාලය අවසන් වී නිවසට ගිය පසු රාජකාරි අවසන් වෙන්නේ නැත. බොහෝ වෙලාවට ඇතැමුන්ට කාර්යාල සගයන් සමඟ සහ කාර්යාල ප්‍රධානියා සමඟ මධුවිත පානය කිරීමට පවා සිදුවෙයි. රාත්‍රී ආහාරය ගැනීමට සිදුවන්නේ රෑ මැදියමේය. ඇතැමුන්ට ඔවුන්ගේ දවසේ රාජකාරි අවසන් වන්නේ ඉන් පසුවය. ‘නිදිවරා වැඩ කරමු’ යැයි ජපාන අග්‍රාමාත්‍යවරිය, ඇගේ අමාත්‍ය මණ්ඩලයට පැවැසීම ‘කරෝෂී’ සංස්කෘතියට පන්නරයක් දීමකි. ඒත් එය නිවැරදි මඟ පෙන්වීමක් නොවන බව වෛද්‍යවරුන්ගේ අදහසය. ජපන් වැසියන් දැන් සිටින්නේ නිදිවරා වැඩ කර හෙම්බත් වෙමිනි. පෞද්ගලික වශයෙන් සහ රටක් වශයෙන් ජපානය දියුණුවේ ඉහළ තළයට ගොස් අවසන්ය. ඒත් ජපානයේ උපක් අනුපාතය ඉතා වේගයෙන් පහළ වැටීම, නිදිවරා වැඩ කර හෙම්බත් වීම මනාව පිළිබිඹු කරයි.

නිදිවරා වෙහෙස වී වැඩ කරමින් දියුණුවෙන් දියුණුවට පත්වුණු ගෝලීය සුපිරි පුද්ගලයන් අතරට ජපන් අග්‍රාමාත්‍යවරයා ද එක් වී සිටී. නිදි නැතිව වැඩ කරමින් ජීවිතය ජයගත් බිලියනපතියකු වන්නේ ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ය. ලොව අංක එකේ බිලියනපතියා වීමට මස්ක්ට හැකිවූයේ ඔහුගේ මේ ආකල්පය නිසා බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. “සතියකට පැය 40 ක් පමණක් වැඩ කරමින් ඔබට දියුණු වෙන්න බැහැ” යැයි මක්ස් පවසා ඇත. “රාජකාරිය සහ ජීවිතය කියන්නේ සමබල කාරණා දෙකක් නොවෙයි එකක්.” යැයි ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ජෙෆ් බේසෝස් කියයි. “මා කැමතියි අපේ තරුණ තරුණියන් සතියකට පැය 70 ක් වැඩ කරනවා දකින්න.” යැයි ඉන්ෆෝසිස් සමාගම පිහිටවූ, ඉන්දීය ව්‍යාපාරික නාරායන් මූර්තිගේ කියයි. “පැය 12 බැගින් දින 6 ක් වැඩ කිරීමට හැකි නම්, විශාල වෙනස්කමක් කරන්න පුළුවන්” යැයි අලිබාබා සමාගම පිහිටුවීමේ පුරෝගාමී ජැක් මාගේ අදහසය. “පැය 12 බැගින් දින 6 ක් වැඩ කිරීමට ලැබීම ආශිර්වාදයක්” බව පෙප්සිකෝ සමාගමේ ප්‍රධානී ඉන්ද්‍රා නූරි පවසයි. අප කවුරුත් ආදරේ කරන බොලිවුඩ් සුපුරි නළු ෂාරුක් ඛාන් වරක් මෙසේ පැවැසීය. “විවේකය පාපයක්. ජීවිතය ජය ගන්න මහන්සි වෙන්න ඕනෑ.”

ෆර්ස් පෝස්ට් ඇසුරිනි  


RECOMMEND POSTS