කලීඩා සියා සමුගනී



බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා අභාවප්‍රාප්ත වූවාය. දකුණු ආසියානු දේශපාලන සිතියම තුළ යකඩ ගැහැනියක ලෙස විරුදාවලිය ලත්, කලීඩා සියා පසුගිය වසර කීපයේ දේශපාලන කෙළෙහිලිකම්වලට ලක්වූ තැනැත්තියකි. 80 හැවිරිදි කලීඩා සියා, ඩකා අගනුවර ‘එවර් කෙයා’ රෝහල්​ ප්‍රතිකාර ලබමින් සිටිද්දී අද (30) උදෑසන අවසන් සුසුම් හෙලූ බව ඇගේ ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ නිවේදනය කළේය.

පසුගිය නොවැම්බර් 23 වැනිදා කලීඩා සියා රෝහල්ගත කෙරුණේ හදවත් රෝගී තත්ත්වයක් සහ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙනි. රෝහල්ගත කරන විටත් වෛද්‍යවරුන් පැවැසුවේ ඇගේ තත්ත්වය අසාධ්‍ය බවය. මහා බ්‍රිතාන්‍යයෙන්, කැනඩාවෙන්, ඇමෙරිකාවෙන්, චීනයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් විශේෂඥ වෛද්‍යවරු ඇයට ප්‍රතිකාර ලබා දීමට පැමිණිනමුත්, ඒ කිසිදු ප්‍රතිකාරයකින් ඵලක් නොවුණු බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. කලීඩා සියාගේ අභාවයත් සමඟ බංග්ලාදේශ දේශපාලනයේ ස්වර්ණමය යුගයක් නිමාවට පත් වෙයි.

ආසියා කලාපයේ අප අසල්වැසියකු වන බංග්ලාදේශය, අදවනවිට දේශපාලනික වශයෙන් අස්ථාවරත්වයට පත් වී අවසන්ය. අග්‍රාමාතය ධුරය හෙබවූ ෂෙයික් හසීනා, ශිෂ්‍ය විරෝධතා හමුවේ අග්‍රාමාත්‍ය ධුරය අතහැර, ඉන්දියාවට පලා යෑමත් සමඟ බංග්ලාදේශ දේශපාලනික වශයෙන් අස්ථාවර වූවා පමණක් නොව, අවනීතිය රජයන ප්‍රචණ්ඩත්වය පිරුණු රාජ්‍යයක් බවට පත් වී ඇත. හසීනා අසල්වැසි ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකි. රට තුළ විරෝධතා උත්සන්න වෙද්දී ඇයට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ ඉන්දීය රජයේ සහාය හිමිවූයේ ඒ අනුවය. ඇය අද ඉන්දීය රජයේ ආරක්ෂාව ලැබ එරට ජීවත් වන්නීය.

බංග්ලාදේශයේ බහුතරය මුස්ලිම් වන අතර, එරට සුළුතර හින්දු ජාතිකයන්ට එල්ල වන කෙණෙහිලිකම් ද දිනෙන් දින ඉහළ යයි. හින්දු වැසියන්ගේ නිවාස ගිනි තැබීම්, පහර දීම පමණක් නොව, ඝාතන ද සිදුවෙයි. හසීනා ධුරයෙන් ඉවත් වීමත් සමඟ බංග්ලාදේශපේ අන්තර්වාර පාලක මණ්ඩලයක් පිහිටුවීම සිදුවිය. ඊට නායකත්වය දෙන්නේ නොබෙල් සාම ත්‍යාගලාභියකු ද වන මුහම්මද් යූනුස්ය. එලැඹෙන 2026 වසරේ බංග්ලාදේශයේ මහ මැතිවරණයක් පැවැත්වීමට ද නියමිතය.

බංග්ලාදේශය බිහිවුණු දා පටන්, මාරුවෙන් මාරුවට බලය දෝලනය වූයේ කාන්තාවන් දෙදෙනකු අතරේය. එම දෙදෙනාගෙන් එක් අයකු හසීනාය. ෂෙයික් හසීනා නියෝජනය කරන්නේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයයි. ඇය බංග්ලාදේශයේ නිර්මාතෘ සහ එරට ප්‍රථම ජනාධිපති ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි. අනෙකා දක්ෂිණාංශිකමතධාරී කලීඩා සියා ය.

කලීඩා සියාගේ සැමියා සියාර් රහ්මාන් ය. ඔහු හමුදා නිලධාරියකු මෙන්ම බංග්ලාදේශයේ හිටබු ජනාධිපතිවරයෙකු ද වෙයි. 1981 වසරේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණයකින් රහ්මාන් ඝාතනය විය. එතෙක් නිහඬ ගෘහනියකව සිටි කලීඩා සියා, බංග්ලාදේශ ජාතික පක්ෂය මෙහෙයවමින් දේශපාලනයට පිවිසියාය.

බංග්ලාදේශ දේශපාලනයේ මාරුවෙන් මාරුවට බලයට පත්වුණු ෂෙයික් හසීනා සහ කලීඩා සියා හැඳින්වෙන්නේ ‘බැටලින් බෙගම්’ එසේත් නැතිනම් ‘සටන්කාමී සහෝදරියන්’ යනුවෙනි. මේ දෙදෙනාගේම දේශපාලන ආගමනය සිදුවූයේ පවුලේ ඛේදවාචකයන්ගෙන් පසුව වීම විශේෂත්වයකි.

1945 අගෝස්තු 15 වැනිදා උපත ලැබූ කලීඩා සියා, තරුණ වියේදී දේශපාලනය ගැන කිසිදු අයුරකින් උනන්දු වූයේ නැත. ඇය 1960 වසරේදී විවාහ වෙද්දී, සියාර් රහ්මාන් පාකිස්තානු හමුදා නිලධාරියෙකි. රහ්මාන් පසුව, බංග්ලාදේශයේ නිදහස් සටනේ වීරයකු වී, එරට ජනාධිපතිවරයා බවට පත් විය. 1947 දී බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට නිදහස ලැබුවේ, ආගම පදනම් කරගෙන ඉන්දියාව සහ පකිස්තානය යනුවෙන් දෙකඩ වෙමිනි. පාකිස්තානය ද කොටස් දෙකක් විය. ඒ, බටහිර පාකිස්තානය (වත්මන් පකිස්ථානය) සහ නැගෙනහිර පාකිස්තානය ලෙසය. බංග්ලාදේශය බවට පත්වූයේ මෙම නැගෙනහිර පාකිස්තානයයි.

1981 වසරේ සිදුවුණු එම හමුදා කුමන්ත්‍රණයෙන් රහ්මාන් ඝාතනය වූ පසු විසිරී ගිය බංග්ලාදේශ ජාතික පක්ෂය යළි ගොඩනැගීමේ වගකීම කරට ගත් කලීඩා සියා, නොසිතූ ලෙස දේශපාලන කරළියට පිවිසියාය. 1991 වසරේ දී පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ඇය බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස ඉතිහාසයට එක් වූවාය. ඉන් අනතුරුව, 1996 සහ 2001 වසරවලදී ද ඇය සිය පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් අගමැති ධුරයට පත් වූවාය. ඇගේ පාලන සමය තුළ බංග්ලාදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම බාලිකා අධ්‍යාපනය නගාසිටුවීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක විය. ඇය පොදු ජනයා අතර හැඳින්වුණේ ‘දේශ්නේත්‍රි’ හෙවත් දේශයේ නායිකාව යන ආදර ගෞරව නාමයෙනි.

බංග්ලාදේශ දේශපාලනය මාරුවෙන් මාරුවට, කලීඩා සියාටත්, ෂෙයික් හසීනාටත් හිමිවෙද්දී, දෙදෙනා අතර පැවති දැඩි දේශපාලන එදිරිවාදිකම් බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන්න විය. කලීඩා සියා සැමවිටම ජාතිකවාදී මතයක පිහිටා කටයුතු කළ අතර, ඇගේ දේශපාලන ගමන බන්ධනාගාර ගත කිරීම් සහ දූෂණ චෝදනා හමුවේ පවා නතර වූයේ නැත. ජීවිතයේ අවසන් දශකය, කලීඩා සියා ට අතිශය දුෂ්කර විය. දූෂණ චෝදනා මත සිරගත වීමට සිදු වීමත්, පසුව දැඩි ලෙස රෝගාතුර වීමත් නිසා ඇය සක්‍රීය දේශපාලනයෙන් ඈත් වී සිටියාය. විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඇයට විවිධ නීතිමය බාධාවන් එල්ල වූ අතර, අවසාන කාලය ඇය ගත කළේ නිවාස අඩස්සියේ සහ රෝහල්ය.

කලීඩා සියා හුදෙක් දේශපාලනඥවරියක පමණක් නොවෙයි; ඇය බංග්ලාදේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල හඬකි. ඇයගේ සමුගැනීම, එරට ජාතික පක්ෂයට පමණක් නොව, මුළු මහත් බංග්ලාදේශයටම පිරිමැසිය නොහැකි පාඩුවකි. දකුණු ආසියානු කලාපයේ කාන්තා නායකත්වයේ සලකුණක් වූ ඇය සමුගත්තේ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ආදර්ශය ඉතිරි කරමිණි. ඛලීඩා සියාට පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් පුතු තාරික් රහ්මාන් දැනට  බංග්ලාදේශ ජාතික පක්ෂයේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරයි. (ඔහු ලන්ඩනයේ ජීවත් වෙයි). බාල පුතු අරෆත් රහ්මාන්  2015 දී මියගියේය.

ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි

RECOMMEND POSTS