2021 නොබෙල් සාහිත්‍ය සම්මානය



මෙවර සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය මෙවර හිමි වූයේ ටැන්සානියානු ජාතික අබ්දුල් රසාක් ගුර්නා (Abdulrazak Gurnah) ට ය.

වෙනස් නොවන යටත්විජිතවාදය නිසා ඇති වූ හානිකර තත්වයන් දෙස සානුකම්පිතව, දැඩි අවධානයකින් යුතුව නොවෙනස් ව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔහුගේ නවකතාකරණය අගය කරන බව, ස්වීඩිෂ් ඇකඩමිය ගුර්නාට සම්මානය පිරිනමන්නට තීරණය කළ බව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. ඒ අනුව ලබන දෙසැම්බරයේ පිරිනැමෙන නොබෙල් රන්පදක්කම සමග ඔහුට ස්විඩිෂ් රන්පවුම් දශ ලක්ෂයක (‍ඩොලර් මිලියන 1.14ක) මුදලක් හිමි වනු ඇත.

73 හැවිරිදි වියේ පසුවන ගුර්නාගේ මවුබස සවාහිලි වුවත් ඔහු ග්‍රන්ථ රචනා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔහු දැනට නවකතා 10ක් ලියා පළ කර තිබේ. 1948 වසරේ සැන්සිබාරයේ උපන් ඔහු, එංගලන්තයට පැමිණ ඇත්තේ සරණාගතයකු ලෙසය. ඒ, 1964 සැන්සිබාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී කැරැල්ල නිසාය. එවිට ඔහුගේ වයස අවුරුදු 18 ක් බව පැවැසෙයි.

එංගලන්තයේ දී දරිද්‍රතාවය නිසා ඇතිවුණු තත්වයන් මත ඇති වූ තනිකම, පාළුව මකා ගන්නට ඔහු දිනපතා සටහන් තබන්නට පටන් ගත්තේය. ඒ සටහන් පසුව දීර්ඝ සටහන් බවට පත් විය. ඉන් පසු ඔහු තමාගේ මතක සටහන් හා වෙනත් පුද්ගලයන් පිළිබඳ අත්දැකීම් ගැන ලියන්න විය. ඔහුට පළමු වන නවකතාව ලිවීමට උදවු වූයේ එම අභ්‍යාසයයි. ‘මා නවකතාකාරඅවෙක් වෙන්න හිතුවෙ නෑ. මට ඕනෑ වුණේ ඉංජිනේරුවකු වගේ ප්‍රයෝජනවත් වෘත්තියක ය‍ෙදෙන්නයි.’ ගුර්නා පවසා තිබේ.

ගුර්නා මෑතක දී විශ්‍රාම යනතුරු සේවය කළේ කැන්ටබරියේ කෙන්ට් විශ්ව විද්‍යාලයේ පශ්චාත් යටත් විජිත සමයේ සාහිත්‍යය හා ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරයා වශයෙනි. 1986 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ ව‍ොලී සොයින්කා (Wole Soyinka) නමැති නයිජීරියානු කවියාගෙන් පසු අප්‍රිකානු කළු ජාතිකයකුට ඒ සම්මානය හිමි වුණේ මේ වතාවේදී යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. තමා සරණාගත අර්බුදය, යටත්විජිතවාදය ආදිය තුළින් තමා ලත් අත්දැකීම් නිසා ඒ පිළිබඳව තම ප්‍රබන්ධ මගින් සාකච්ඡා කළ බැවින්, මේ සම්මානය තමන්ට පිරිනැමුණු බව ගුර්නාගේ අදහස වී තිබේ. ‘ඒවා අපේ එදිනෙදා ජීවිතවලට බද්ධ වුණු දේවල්. ජනතාව මැරෙනවා. ජනතාවට හිරිහැර කිරීම ලොව පුරා ම සිදුවෙනවා. ඒවා ගැන වඩාත් කරුණාවෙන් සලකා බලන්න ඕනෑ.’ ඔහු පෙන්වා දෙයි.

‘මා එදා එංගලන්තයට ආවේ සරණාගතයෙක් හැටියටය. ඒත් ඒ තත්වය අදට වඩා වෙනස්. එදාට වඩා අද ජනතාව වැඩියෙන් පීඩාවට පත් වෙනවා. භීෂණයෙන් පිරුණු රාජ්‍යවල ජනතාව දිවි ‍බේරා ගන්න ලොකු සටනක් ගෙන යනවා, ඒ රාජ්‍යවලින් පලා යන්න වෙර දරනවා. 1960 ගණන්වලට වඩා අද ලෝකයේ ප්‍රචණ්ඩකාරීත්වය වැඩියි. ඒ නිසා ම ආරක්ෂා සහිත රටවලට එල්ලවෙන පීඩනයත් වැඩියි. ඒ වගේ ම වැඩි පිරිසකට අවස්ථාව දෙන්න ඔවුන්ට සිදු වෙනවා.’ ගුනාර් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටී.

1994 වසරේ දී පළ වූ ‘පැරඩයිස්’ නවකතාවට පාදක වන්නේ, 20 වැනි සියවසේ මුල් කාලයේ ටැන්සෑනියාවේ හැදී වැඩුණු ළමය‍ෙකුට, පසුව ‘බුකර් සම්මානය’ට නම් කරනු ලැබීමෙන් නවකතාකරුවකු වීමට ඉඩ සැලසුන ආකාරයයි. ඒ චරිතයට තමන්ගේ ජීවිතයේ සෙවණැල්ල වැටී ඇතැයි ගුනාර් කියයි. ගුනාර්ටග් නිර්මාණ අතරින් වඩාත් විචාරක පැසැසුමට ලක් වී ඇත්තේ මෙම නවකතාවය. ‘අබ්දුල් රසාක් ගුර්නා යථාර්ථවාදී රීතිය භාවිත කරමින් සරලව සිත් ගන්නා අයුරින් සත්‍යය හෙළිදරවු කිරීමට නවකතාව යොදා ගෙන තියෙනවා. නැගෙනහිර අප්‍රිකාවේ ජීවත්වන විවිධ සංස්කෘතිවලට අයත් ජනතාවගේ ජීවන රටාව පිළිබඳ අපූරු විස්තරයක් ඔහුගේ නවකතා තුළින් අපේ නෙතු මානයට ගේනවා. ලෝකයේ වෙනත් කලාපවල වෙසෙන බොහෝ දෙනා නොදන්නා කරුණු ඔහු ඒ නිර්මාණ තුළින් මතු කර පෙන්වනවා. ඔහු ගොඩනඟන චරිත, සංස්කෘතීන් හා මහාද්වීප අතර එතෙක් පැවති ජීවිතය හා මතු වී එන ජීවිතය අතර ඇති හිඩැසකට හිර වී ඇති බවක් පේනවා. එය කිසිදාක නොවි‍ස‍ඳ‍ෙන අනාරක්ෂක තත්වයක් ලෙසයි දැක්වෙන්නේ.’ යැයි නොබෙල් කමිටුව අර්ථ දැක්වීමක් කර තිබේ.

නොබෙල් සම්මානය තමාට ලැබෙන බව දැනුම් දුන් මොහොතේ ඊට මවිතය පළකරමින් ගුනාර් ප්‍රකාශ කළේ, ‘මට පුදුම හිතුණා. මා තුළ නිහතමානී ආඩම්බරයක් ඇති වුණා. ඒක ශ්‍රේෂ්ඨ සම්මානයක්! විශාල මුදල් ත්‍යාගයක්! ඒක දිනා ගත් විශිෂ්ට ලේඛකයන්ගේ දැවැන්ත ලැයිස්තුවක්. ඒකට එකතු වෙන්න ලැබීම මා වාගේ ලේඛකයකුට හිතා ගන්න බැරි තරම් දෙයක්.’ යනුවෙනි. නොබෙල් ත්‍යාගය ආරම්භ වුණේ 1901 දීය. නොබෙල් සම්මාන පිරිනැමුණේ සාහිත්‍යය, විද්‍යාව, සාමය හා පසු කාලෙක ආර්ථික විද්‍යාවටය. සාහිත්‍යය සඳහා මෙත‍ෙක් නොබෙල් ත්‍යාගය සඳහා සම්මාන දිනූවත් අතර අර්නස්ට් හෙමිංවේ, ගාබ්‍රියෙල් ගාෂියා මාකේශ්, ටෝනි මොරිසන් වැනි නවකතාතරුවන්, පැබ්ලෝ නෙරූඩා, ජෝශප් බ්‍රොඩ්ස්කි, රබීන්ද්‍රනාත් තාගෝර් වැනි කවියන් ද හැරල්ඩ් ප්‍රින්ටර්, ඉයුජින් ඕනීල් වැනි නාට්‍යකරුවන් ද වෙති. පසුගිය වසරේ සම්මානය හිමි වුණේ ලුවිස් ග්ලක් නම් ඇමරිකානු කවියාටය. බ්‍රිතාන්‍ය අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල්ට පවා සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. ඒ, 1953 වසරේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS