රූ රැජින කිරුළ තායි සුරූපිනියට
ලෝක රූ රැජින කිරුළ කෙරෙහි පසුගිය සති කීපය පුරා අප කාගේත් අවධානය යොමු වී තිබුණේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ සුරූපිණිය අනුදි ගුණසේකර නිසාය. ලෝක රූ රැජින තරගාවලියේ ‘හෙඩ් ටු හෙඩ්’ සහ ‘මල්ටිමීඩියා’ ඉසවුවලින් අනුදි දස්කම් පෑවේ අපට අභිමානයක් අත්කර දෙමිනි. තරගාවලියේ අවසන් වටය, ඊයේ (31) අතිඋත්කර්ශවත් අන්දමින්, ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවරදී පැවැත්වුණු අතර, 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳුවේ තායිලන්තය නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත් වුණු සුරූපිණියයි.
2025 ලෝක රෑ රුජින කිරුළ දිනා ගැනීමට සමත් වූ තායිලන්තය සුරූපිණියයි. ඇය 22 හැවිරිදි ඕපල් සුචාතා චුවාන්ග්ශ්‍රී ය. තායිලන්ත සුරූපිණියක්, ලෝක රූ රැජින කිරුළ පැලඳි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙවර තරගාවලියේ දෙවැනි ස්ථානය අප්‍රිකාවේ රාජ්‍යයක් වන ඉතියෝපියාවේ හැසට් ඩෙරෙජ් ඇඩ්මාසු ද තෙවැනි ස්ථානය යුරෝපා රටක් වන පෝලන්තයේ මායා ක්ලජ්ඩා ද දිනා ගත්හ.
ඕපල් සුචාතා තායිලන්තයේ කැපී පෙනෙන නිරූපිකාවකි. සුචාතා, 2003 සැප්තැම්බර් 20 වැනිදා තායිලන්තයේ ෆුකට් පළාතේ උපත ලැබූ තැනැත්තියකි. ඇගේ පියා සහ මව ව්‍යාපාරිකයන්ය. ඇය එරට තාම්මාසත් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ, දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටී. සාම්ප්‍රදායිකව, 2024 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනූ ක්‍රිස්ටිනා සයිකෝවා විසින් සුචාතාට රූ රැජින කිරුළ පැලඳීම සිදු කෙරුණි.
ලෝක රූ රුජින තරගාවලිය මෙවර පැවැත්වූයේ 72 වැනි වරටය. තරගාවලිය සංවිධානය කළේ ඉන්දියාවය. අවසන් වටය අකි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ හයිද්‍රාබාද් නුවර හයිටෙක් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීය. ඉන්දියාවේ ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වුණු තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර, 1996 දීත්, 2023 දීත් ලෝක රූ රැජින තරග ඉන්දියාවේ පැවැත්විණි.
මෙවර තරගාවලිය සඳහා රටවල් 108 ක් නියෝජනය කරමින් තරගකාරියන් ඉදිරිපත් වූහ. එම තරගකාරියන්, මහාද්වීප ලෙස කාණ්ඩ 4 කට බෙදා වෙන් කෙරුණි. අවසන් වටයට තරගකාරියන් 40 දෙනකු සුදුසුකම් ලැබූ අතර, ඔවුන් අතරින් 20 දෙනකුත්, ඉන්පසු එම 20 දෙනාගෙන් අට දෙනකුත් අවසන් වටයේ දී තෝරා ගැනීම සිදුවිය.
ශ්‍රී ලංකාව නියෝජනය කළ සුරූපිණිය අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට පිවිසීමට හැකියාවක් ලැබුණේ නැත. ලෝක රූ රැජින කිරුළ නොපැලඳියත් අනුදි අපට රැජිනකි. ‘හෙඩ් ටු හෙඩ්’ ඉසවුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි කළ ඉදිරිපත් කිරීම ලෝකයේ බොහෝදෙනාගේ අවධානය යොමු වූ බව අමුතුවෙන් කිවයුතු නැත. මෙරට ඉතිහාසයේ පළමුවරට එම ඉසව්වලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිණිය බවටද පත්වෙමිනි. අවසන් තරගය ඊයේ (31) පැවැත්වීමට නියමිතව තිබියදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අනුදිට සුබ පැතුවේය. ඒ, එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි. අනුරාධපුර ඉපදී සිප් සතර හැදෑරූ අනුදි කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර් ජාතික සබඳතා පිළිබඳව උපාධිධාරිණියකි. මීට අමතරව 25 හැවිරිදි ඇය වෘත්තීය නිරූපණ ශිල්පිණියකි.
මෙවර ලෝක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වුණු ඉන්දීය සුරූපිණිය වූයේ නන්දිනි ගුප්තා ය. ඇයට ද අවසන් තරගකාරියන් අතරට යෑමට හැකි වූයේ නැත. අනුදි, තරගාවලියේ ප්‍රධානතම අභියෝගය ලෙස සැලෙකන ‘හෙඩ් ටු හෙඩ්’ වටයට සහභාගී වෙමින්, ඇය කවුරුන්දැයි ලොවට හදුන්වා දුන්නේ, ධම්ම පදයෙන් උපුටා ගැනීමක් ද කරමිනි. මෙය කාගේත් අවධානයට ලක් විය. ඒත්, ‘හෙඩ් ටු හෙඩ්’ වටයේ දී මුළු ලෝකයම මොහොතකට කම්පා කළේ සෝමාලියාව නියෝජනය කරමින්, තරගයට ඉදිරිපත් වුණු සුරූපිනිය ජයිනාබ් ජාමාය. ඇය ලොව කම්පා කළේ ස්ත්‍රී ලිංග ඡේදනය ගැන කියමිනි. එම වේදනාකාරී අමිහිරි අත්දැකීමට මුහුණ දුන් අයුරු ජයිනාබ් ජාමා ලොවට ඇසෙන්න කීවේ කඳුළු සලමිනි. සෝමාලියාවේ ගැහැනු ළමුන් වෙනුවෙන් ඇය ඇගේ හඬ අවදි කළාය.
එංගලන්තය නියෝජනය කරමින්, තරගාවලියට ඉදිරිපත් වූ මිලා මේගී ද ආන්දෝලනයක් ඇති කළේ ඇය තරගෙයන් ඉවත් වන බව නිවේදනය කරමිණි. තරගාවලිය අතරතුරේ තමන් ‘හිරිහැරයට’ ලක්වුණැයි මිලා මේගී චෝදනා නගන්න වූවාය. ‘පුද්ගලික සහ ආචාර ධර්ම පිළිබඳ ගැටළු’ හේතුවෙන් තමන් ලෝක රූ රැජින තරගාවලියෙන් ඉවත් වෙන බව මිලා මේගී මාධ්‍ය හමුවේ පැවැසුවාය. ඒ අනුව 24 හැවිරිදි ඇය පසුගිය මැයි 16 වන දින ආපසු එංගලන්තය බලා ගියාය.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි