මනස කලඹන ගුප්ත රෝග
මානසික සුවය සහ නිරෝගී මනස ඉතා වැදගත්ය. එහෙයින්, අප මේ කතා කරන්නේ, ප්‍රතිකාර කිරීම අතපසු වී යන ගුප්ත මානසික රෝගාබාධ කිහිපයක් ගැනය.
ක්රිප්ටොමීෂියා
කිසියම් සිදුවීමක් සිදුවෙද්දී, එම සිදුවීම කලින් සිදුවී ඇති බවක් හෝ ඒ අත්දැකීම කලින් විඳ ඇති බවක් දැනීම එසේත් නැතිනම් දුටුවිරු මායාව (déjà vu) සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ට අත්දැකීම් තිබිය හැකිය. ඒත්, ක්රිප්ටොමීෂියාවේ දී සිදු වන්නේ ඊට හාත් පසින් ම වෙනස් දෙයකි. ඒ, මෙයට පෙර අත් දුටු දෙයක්, නොඑසේ නම් පැරණි මතකයක්, මෙයට පෙර සංචාරය කර ඇති ස්ථානයක් අලුත් ම සිදුවීමක් ලෙස හඳුනා ගැනීමකි. මෙය යම්තාක් දුරකට සැඟවුණු මතකයක් ලෙස අර්ථ දැක්වීමට හැක.
ඇලිස් සින්ඩ්‍රෝමය
මානසික රෝග අතරින් සුන්දර මානසික රෝගයක් ලෙස හඳුන්වන විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමයේ දී සිදු වන්නේ කතා පොතේ සඳහන් වන ආකාරයෙන් ම තමන් ජීවත් වන පරිසරයට නොගැළපෙන ලෙස තමන් ප්‍රමාණයෙන් කුඩා හෝ විශාල බව හැඟී යෑමය. මනෝ වෛද්‍යවරුන්ගේ විශ්වාසය විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අය අදාළ පරිසර තත්ත්වයන් මනසේ මවා ගන්නා බවය. සමස්ත ලෝක ජනගහනයෙන් සියයට 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් තම ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දී මෙයට මුහුණ දී ඇති අතර මෙය දිගු කාලයක් නොපවතින, ඉඳ හිට පැමිණෙන රෝගයක් ලෙස සැලකෙයි.
වැඩි වශයෙන් ම විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමයට ගොදුරු වන්නේ ඉරුවාරදය, අපස්මාරය හෝ වෙනත් හිස ආශ්රිත රෝගයන්ගෙන් පෙළෙන අය යැයි පැවැසෙයි. වැඩිහිටියන් අතර සුලබ මෙය කුඩා දරුවන් අතර ද දක්නට ලැබෙනවා. විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන දරුවෙකුට අනාගතයේ දී ඉරුවාරදය වැළඳීමේ සම්භාවිතාවය සියයට 50 ක් බව පැවැසෙයි.
ඕ.සී.ඩී. (Obsessive-Compulsive Disorder)
ඉතාමත් සුලබ සහ නිදන්ගත රෝග තත්ත්වයක් ලෙස මෙය සැලකෙයි. යම් කිසි ක්‍රියාවක් හෝ සිතුවිල්ලක් යළි යළිත් විඳීම සඳහා පාලනය කළ නොහැකි පෙලඹවීමක් පවතී. සාමාන්‍යයෙන් මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට යළි යළිත් සිතට බලපෑම් කරන අදහසක් හෝ යම් ක්‍රියාවක් අනිවාර්යයෙන් ම කළ යුතු යැයි යන බල කිරීමක් හෝ මේ ලක්ෂණ ද්විත්වයම ඇති විය හැක.
විෂබීජ සම්බන්ධයෙන් දක්වන අධික බිය, ලිංගිකත්වය, ආගම හෝ හිංසාවන් සම්බන්ධයෙන් තමන්ට ම මානසික තහංචි පැනවීම, තමන්ට හෝ අන් අය වෙත දැඩි කලහකාරී ස්වභාවයක් පෙන්වීම, සෑම දෙයක් ම සමමිතික සහ අඩුපාඩුවක් නොමැති ලෙස සැකසීම, පමණ ඉක්මවා පිරිසිදු කිරීම හෝ අත් පා පිරිසිදු කිරීම, සෑම දෙයක් ම යම් නිශ්චිත පිළිවෙළකට තැබීමට අන් අයට අණ කිරීම, කිසියම් දෙයක් නියමිත පරිදි තිබේ දැයි යළි යළිත් පිරික්සා බැලීම ආදිය රෝග ලක්ෂණ ලෙස සැලකිය හැකිය.
පැරෆ්රීනියා
භින්නෝන්මාදයට (schizophrenia) තරමක් සමීප රෝගී තත්ත්වයකි. මෙහි දී සිදු වන්නේ විකෘති මායාවන් සහ ව්‍යාජ දර්ශනයන් පෙනී යෑමය. නමුත් මෙහි දී භින්නෝන්මාදයේ දී මෙන් පෞරුෂයේ හෝ බුද්ධියේ බිඳී යාමක් සිදු නොවෙයි. එසේ ම භින්නෝන්මාදය මෙන් ම පාරම්පරික ව නොවැළඳෙන මෙය වඩාත් බහුල ව දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් අතරය. ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොර ව දක්නට ලැබුණ ද වැඩි වශයෙන් පැරෆ්රීනියාට ගොදුරු වන්නේ කාන්තාවන්. එසේ ම වැඩිහිටි පුද්ගලයන් සියයට 2 ත් 4 ත් ප්‍රමාණයක් මෙමගින් පීඩා විදින බව සංඛ්‍යා දත්ත අනුව පෙනී යයි. පැරෆ්රීනියාවට ගොදුරු වන්නන් බොහෝමයක් දෙනකු තර්ක කිරීමට කැමැත්තක් දක්වන අතර අධි සංවේදී බවක්, පමණ ඉක්ම වූ ආගමික නැඹුරුතාවක් හෝ සැකයෙන් ජීවත් වන බවක් පෙන්වයි.
බහුපෞරුෂ ආබාධය
විඝටනීය අනන්‍යතා අබාධය ලෙස ද මෙය හැඳින්වෙයි. මෙහි දී තමන්ට එකිනෙකට හාත් පසින් ම වෙනස් අනන්‍යතා දෙකක් හෝ කිහිපයක් පවතින බව විශ්වාස කිරීම සිදු වෙයි. මෙය වැළඳීම සඳහා නිශ්චිත හේතුකාරක හඳුනාගෙන නොමැති වුව ද වෛද්‍යවරුන්ගේ විශ්වාසය වන්නේ ළමා කාලයේ දී දරුණු මානසික සහ කායික පීඩාවන්ට ලක් වූවන් අතර මෙය වඩාත් සුලබ බවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ යුරෝපයේ විඝටනීය අනන්‍යතා අබාධයෙන් පෙළෙන සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් ළමා අපචාරයන් හි ගොදුරු බවට පත් වූවන්ය. ඕනෑම වයසක දී වැළඳිය හැකි මෙහි මුල් කාලීන රෝග ලක්ෂණ වන්නේ අධික ලෙස භයානක සිහින පෙනීම සහ අමිහිරි අතීත මතකයන් නිරන්තරයෙන් මතකයට නැගීමය.
රෝග ලක්ෂණ වන්නේ, තමාට පැහැදිලි ව වෙන් කර හඳුනා ගත හැකි අනන්‍යතා දෙකක් හෝ කිහිපයක් ඇති බව විශ්වාස කිරීම, අනන්‍යතාවයට අනුව හැසිරීම, මතකය, දැනීම, හැඟීම් පහළ වීම සහ පුද්ගලයන් හඳුනා ගැනීමට ඇති හැකියාව වෙනස් වීම, පුද්ගලික මතකයන් අතර හිඩැස් පැවතීම, සමාජ සම්බන්ධතාවලින් බැහැර වීමට උත්සාහ කිරීම ආදියයි.
සටහන - ශෂී