කට ඇතුළේ සටන



පැණිරස කන්න අකමැති කවුරුද? පැණිරස එසේත් නැතිනම් අධික සීනි දත් නරක් කරයි. මෙය අප කුා කාලයේ පටන් දන්නා දෙයකි. දත් නරක් වෙනවා යැයි කියන්නේ, සීනි අධික ලෙස ආහාරයට ගැනීම හේතුවෙන්, දත් කුහර ඇතිවීමය.

මුඛයට ඇතුළු වන පළමු පැණිරස ආහාර, උගුරෙන් පහළට යන්නටත් මත්තෙන්, මුඛය තුළ සිටින බැක්ටීරියා එම ආහාරවල ඇති සීනි භාවිත කරමින් දත් මතුපිට ‘මැලියම්’ (Plaque) නමැති ඇලෙන සුළු පටලයක් සාදන බව ඔබ දැන සිටියාද? ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, පැණිරස ආහාරයක් ගත් මුල් මිනිත්තු කිහිපය තුළ අපේ මුඛය තුළ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් සිදුවෙයි.

ඔබ සීනි සහිත ආහාරයක් හෝ පානයක් ගත් සැනින්, තත්පර කිහිපයක් ඇතුළත ඔබේ මුඛයේ වසන බැක්ටීරියා එම සීනි ආහාරයට ගෙන වේගයෙන් වර්ධනය වීමට පටන් ගනී. මෙම බැක්ටීරියා සීනි මගින් ශක්තිය නිපදවා ගැනීමේදී අතුරුඵලයක් ලෙස විශාල වශයෙන් අම්ල වර්ග පිට කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පැණිරස ආහාරයක් ගෙන විනාඩියක් හෝ දෙකක් ඇතුළත ඔබේ මුඛයේ ආම්ලිකතාවය ඉහළ යන අතර, එම අම්ලවලට ඔබේ දත්වල එනමලය හෙවත් දත් මතුපිට ඇති ඛනිජ ස්තරය දියකර හැරීමේ හැකියාව පවතී.

වාසනාවකට මෙන්, මෙම අම්ල දත් දිරාපත් කිරීමට පෙර අපේ කෙළ (Saliva) මගින් විශාල ආරක්ෂාවක් සපයයි. කෙළ මගින් මුඛයේ ඇති අතිරික්ත සීනි සෝදා හරින අතරම, අම්ලවල සැර බාල කර මුඛයේ ස්වභාවික තත්ත්වය පවත්වා ගැනීමට උදවු වේ. එමෙන්ම මුඛය තුළ සිටින හිතකර බැක්ටීරියාද දත් දිරායාමට හේතු වන බැක්ටීරියා සමඟ සටන් කරමින් දත් ආරක්ෂා කිරීමට දායක වේ. නමුත් අප නිතර නිතර පැණිරස ආහාර ගන්නේ නම්, මෙම ආරක්ෂක පද්ධතිය අභිබවා යාමට අහිතකර බැක්ටීරියාවලට ශක්තිය ලැබේ.

දත් දිරායාමට හේතු වන මෙම බැක්ටීරියා, සීනි ආධාරයෙන් දත් මතුපිට ‘බයෝෆිල්ම්’ (Biofilm) නමැති ශක්තිමත් බලකොටුවක් සාදා ගනී. දත් මැදීමකින් තොරව මෙම ස්තරය ඉවත් කිරීම ඉතා අපහසුය. මෙම බලකොටුව දත් වටා බැඳුණු පසු, අම්ල මර්දනය කිරීමට කෙළවලට ඇති හැකියාව අහිමි වේ. මෙම ආම්ලික වටපිටාව තුළ හිතකර බැක්ටීරියා මිය යන අතර, අහිතකර බැක්ටීරියා තව තවත් වර්ධනය වී දත අභ්‍යන්තරයටම හානි කරයි. මෙය අවසානයේදී දත් කුහර ඇතිවීමට සහ දත් කැක්කුම ඇතිවීමට මග පාදයි.

මෙම හානියෙන් බේරීමට නම් අප අනුගමනය කළ යුතු සරල පියවර කිහිපයක් තිබේ. ප්‍රධාන වේලාවන් අතරතුර පැණිරස කෙටි ආහාර ගැනීම සීමා කිරීම ඉන් ප්‍රධාන වේ. ඔබ යම් පැණිරස දෙයක් ආහාරයට ගන්නේ නම්, එය ප්‍රධාන ආහාර වේලක් සමඟ ලබාගැනීම වඩාත් සුදුසුය. එවිට මුඛයේ වැඩිපුර කෙළ උත්පාදනය වන බැවින් අම්ලවලින් සිදුවන හානිය අවම වේ. අවසාන වශයෙන්, සෑම ආහාර වේලකටම පසු දත් මැදීම සහ දත් අතර රැඳී ඇති මැලියම් ඉවත් කිරීම මගින් මෙම ‘බැක්ටීරියා බලකොටු’ විනාශ කර ඔබේ දත් නිරෝගීව තබා ගත හැකිය.

Live Science ඇසුරිනි


RECOMMEND POSTS