දිවේ ඉන්න බැක්ටීරියා මොළය එක්ක කතාබහක



අපේ දිව මත ජීවත්වන බැක්ටීරියා, අපට හොරා, අපේ මොළය සමග අදහස් හුවමාරු කර ගන්නා බව බටහිර විද්‍යාඥයෝ පවසති. එම බැක්ටීරියා සහ මොළය අතරේ, හරි අපූරු සබඳතාවක් ගොඩනැගී ඇතැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.

එක්සත් රාජධානියේ සහ බෙල්ජියමේ නිරෝගී පුද්ගලයන් 60 දෙනකු සම්බන්ධ කර ගනිමින්, ‘එක්සෙටර්’ සහ ‘බ්‍රසල්ස්’ විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් සිදු කළ නවතම අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇත.

අධ්‍යයනයට අනුව, විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, දිව මත ජීවත් වන ඇතැම් බැක්ටීරියා විශේෂවල වැඩිවීම හෝ අඩුවීම, පුද්ගලයකුගේ මතක ශක්තිය, අවධානය යොමු කරන ආකාරය සහ මොළයේ ක්‍රියාකාරීත්වයේ වේගය කෙරෙහි බලපෑම් ඇති කරන බවය.

විද්‍යාඥයන්ට අනුව, දිව මත ජීවත්වන බැක්ටීරියා සහ මොළය අතරේ ඇති මෙම අපූරු සබඳතාව පසුපස ඇති ප්‍රධාන විද්‍යාත්මක සාධකය, අප ගන්නා ආහාරවල අඩංගු ‘නයිට්‍රේට්’ නමැති රසායනිකයයි. 

උදාහරණයක් ලෙස, බීට්රූට් ආහාරයට ගනිද්දී, ඒවායේ ඇති ‘නයිට්‍රේට්’ රුධිරයට එකතු වී, රුධිරය හරහා නැවත වරක් අපේ මුවට පැමිණෙයි. එවිට දිව මත සිටින විශේෂිත බැක්ටීරියා මගින් මෙම ‘නයිට්‍රේට්’, ‘නයිට්‍රික් ඔක්සයිඩ්’ (Nitric Oxide) නැමැති සංයෝගය සෑදීමට උපකාරී වන ද්‍රව්‍ය බවට පරිවර්තනය කරයි. 

‘නයිට්‍රික් ඔක්සයිඩ්’ මගින් සිරුරේ රුධිර නාළ පුළුල් කර, රුධිර සංසරණය පහසු කරවන අතර, එමගින් මොළයේ ක්‍රියාකාරීත්වයට ද යම් උත්තේජනයක් ලැබේ.

මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත්, තරුණ සහ වැඩිහිටි කණ්ඩායම්වල සාමාජිකයන්ගේ දිවෙන් ලබාගත් සාම්පල පරික්ෂා කිරීමේදී, ‘ප්‍රෙවොටෙලා හිස්ටිකෝලා’ (Prevotella histicola) නැමැති බැක්ටීරියාව වැඩිපුර ඇති පුද්ගලයන්, යම් යම් බුද්ධි පරීක්ෂණවලදී ඉතා වේගවත්ව ප්‍රතිචාර දැක්වූ බව තහවුරු විය.

විදුරු මස් රෝග සම්බන්ධ බැක්ටීරියා අධ්‍යයනයට සම්බන්ධ කරගත් වැඩිහිටියන්ගේ මුව තුළ වැඩිපුර දක්නට ලැබුණු අතර, වයසට යෑම සාමාන්‍යයෙන් මොළයේ ක්‍රියාකාරීත්වයේ වේගය අඩුවීමට ප්‍රධාන හේතුවක් ලෙස නැවත වරක් තහවුරු විය. 

එසේ වුවත්, එක්තරා බැක්ටීරියාවක් වැඩිපුර තිබූ පමණින්ම කෙනකුගේ බුද්ධිමය හැකියාව එක ලෙස ඉහළ යන්නේ නැති බවද, විවිධ රටවල ජනතාවගේ මුව තුළ ඇති බැක්ටීරියා ප්‍රජාව එකිනෙකට වෙනස් වන බවද මෙහිදී නිරීක්ෂණය විය.

මෙම අධ්‍යයනය තවමත් මූලික මට්ටමේ පවතින බැවින්, මුව තුළ සිටින බැක්ටීරියා වෙනස් කිරීමෙන් පමණක්ම මතක ශක්තිය වර්ධනය කිරීමට හෝ ඩිමෙන්ෂියා වැනි රෝග වළක්වා ගැනීමට හෝ හැකි යැයි එක එල්ලේ නිගමනය කළ නොහැකි බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

අපේ ආහාර රටාව, ව්‍යායාම සහ නින්ද වැනි කරුණු ද දිව මත ඇති බැක්ටීරියාවලට මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයට එකසේ බලපායි. ඒ අනුව, දිව මත සිටින ක්ෂුද්‍රජීවීන් මොළයේ පැවැත්මට සෘජුවම බලපාන්නේ ද, නැතිනම් වෙනත් සෞඛ්‍යමය හේතුවක් නිසා මේ දෙක අතර සබඳතාවක් පෙන්නුම් කරන්නේ ද යන්න තහවුරු කරගැනීමට ඉදිරියේදී වඩාත් පුළුල් අධ්‍යයනයක් සිදුවනු ඇත.

විද්‍යාත්මකව ගත් කළ, දිව යනු අප මුඛ කුහරය තුළ පිහිටා ඇති, ස්නායු හා රුධිර නාළවලින් පිරි සංකීර්ණ පේශිමය අවයවයකි. 
ආහාර රස විඳීම, හපන ලද ආහාර ගිලීමට උපකාර කිරීම සහ පැහැදිලි ලෙස වචන උච්චාරණය කරමින් කතා කිරීම එහි ප්‍රධාන කාර්යයන්ය.

මතුපිටින් කුඩා නෙරුම් (Papillae) දහස් ගණනකින් සමන්විත දිව, කෝටි සංඛ්‍යාත ප්‍රයෝජනවත් ක්ෂුද්‍රජීවීන් (බැක්ටීරියා ද ඇතුළුව) ට ආරක්ෂිත නිවහනකි.


RECOMMEND POSTS