කණේ ගල් පෙරළෙන හැටි

‘කණ ඇතුළේ ගල් කැට තියෙනවා. ඒවා පෙරළෙද්දී තමයි කැරැකිල්ල හැදෙන්නේ’ යැයි කවුරුන් හෝ ඔබට කීවොත්, එය විහිළුවක් ලෙස සිතෙන්නට පුළුවනි. ඒත්, මෙහි විද්‍යාත්මක සත්‍යයක් ඇත. උදෑසන ඇඳෙන් නැගිටිද්දී, එසේත් නැතිනම් එදිනෙදා වැඩ කටයුතු කරමින් ඉහළ පහළ බලද්දී, හිස පැත්තට හරවද්දී සමහරුන්ට හිටි හැටියේ එක පාරටම කැරකිල්ලක් දැනෙයි. සමබරතාව නැතිවී වැටෙන්න යනවා සේ දැනෙයි. ඒත් තත්පර කිහිපයකින් එම කැරකිල්ල ඉබේම නැති වී යයි.
වෛද්‍යවරුන්ට අනුව, මේ ආකාරයට කැරකිල්ල ඇතිවන්නේ, කණ ඇතුළේ ඇති කුඩා ‘ගල් කැට’ කිහිපයක් තැන මාරු වීම නිසාය. වෛද්‍ය විද්‍යාවේදී, BPPV (Benign Paroxysmal Positional Vertigo) නමැති තත්ත්වයයි. සිංහෙලන් සරලව මෙය ‘හිසෙහි ඉරියව් වෙනස් වීමත් සමඟ හදිසියේ හටගන්නා, ජීවිතයට හානිකර නොවන තාවකාලික කැරකිල්ල’ යනුවෙන් අර්ථ ගැන්විය හැක.
ශ්‍රවණයට පමණක් නොවෙයි, අපගේ කණ ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීමටද ප්‍රධාන වශයෙන් දායක වෙයි. කණ අභ්‍යන්තරයේ ඇති කුඩා කෝෂ වැනි කොටස් තුළ අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි අතිශය සියුම් සහ අතිශය කුඩා කැල්සියම් කාබනේට් ස්ඵටික දහස් ගණනක් තැන්පත් වී ඇත. ගල් යනු මේවාය. වෛද්‍ය විද්‍යාවේදී ‘ඔටෝකෝනියා’ (Otoconia) යනුවෙන් හැඳින්වෙන මෙම කැල්සියම් කැට, අප ඉදිරියට, පසුපසට හෝ ඉහළ පහළ යන විට (උදාහරණයක් ලෙස විදුලි සෝපානයක් තුළ ගමන් කරද්දී), ගුරුත්වාකර්ෂණයට අනුව චලනය වී කණ ඇතුළේ ඇති සංවේදක සෛල උත්තේජනය කරයි. එමගින් අප ගමන් කරන දිශාව සහ සමබරතාවය පිළිබඳ නිවැරදි සංඥා මොළයට ලබා දෙයි.
කෙසේ නමුත්, වයස්ගත වීම, හිසට සිදුවන සුළු පහරදීමක් හෝ කණෙහි ඇතිවන ආසාදනයක් නිසා කැල්සියම් ස්ඵටික, ඒවා තිබිය යුතු තැනින් ගිලිහී, අභ්‍යන්තර කණෙහි ඇති ද්‍රවය පිරුණු අර්ධ වෘත්තාකාර නාල තුළට වැටී පෙරළෙයි. හිස තැනින් තැනට හරවද්දී, කැල්සියම් කැට, නාලය තුළ ඇති ද්‍රවය හරහා තල්ලු වී යිය. එවිට කණ තුළ සංවේදක මගින් ‘ඔබ වේගයෙන් කැරකෙනවා’ යන වැරදි සංඥාව මොළයට යවයි. එසේ වුවත් ඔබේ ඇස් සහ සන්ධි මගින් මොළයට සංඥා යවන්නේ, ඔබ එක තැන නිශ්චලව සිටින බවය. මොළයට ලැබෙන මෙම පරස්පර සංඥා නිසා තත්පර 30-60 අතර කාලයකට අධික කැරකිල්ලක් හටගන්නා අතර, කැල්සියම් කැට නැවත නිශ්චල වූ පසු කැරකිල්ල ඉබේම නතර වෙයි.
මෙම තත්ත්වය ඔබ දිගින් දිගටම පීඩාවට පත් කරන්නේ නම්, ඊට ඇති හොඳම විසඳුම, වෛද්‍යවරයකු ලවා සිදුකරගන්නා ‘එප්ලි ප්‍රතිකර්මය’ (Epley Maneuver) නමැති හිස හැරවීමේ විශේෂ ව්‍යායාමයයි. රෝගියාගේ හිස නිශ්චිත කෝණ කිහිපයකට පිළිවෙලින් හැරවීම මගින්, ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් නාලය තුළ අතරමං වී පෙරළෙන කැල්සියම් කැට නැවත තිබූ ස්ථානයට තල්ලු කර යැවීම මෙම ව්‍යායාමයේදී සිදු වෙයි. බොහෝ විට එක වරක් හෝ දෙවරක් මෙම ව්‍යායාමය කිරීමෙන්ම රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගත හැක.
Live Science ඇසුරිනි

