‘රයිගම් ටෙලීස්’ සම්මාන උළෙල



රයිගම් සමූහ ව්‍යාපාරය විසින් 17 වැනි වරටත් සංවිධානය කළ ‘රයිගම් ටෙලීස්’ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී ඉකුත් 26 වැනිදා රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී 2020 සහ 2021 වසරවල විකාශය වූ ටෙලි නාට්‍ය, රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන පිරිනැමීම සිදුවිය.

මෙවර සම්මාන උළෙලේ දී 2020 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සුළඟ මහමෙරක’ නාට්‍යයේ විදුහල්පතිවරයාගේ චරිතය නිරූපණය කළ බිමල් ජයකොඩි ද, 2021 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘සකර්ම’ නාට්‍යයේ ලීලාරත්නගේ චරිතය නිරූපණය කළ තුසිත් ලක්නාත් ද සම්මාන හිමිකර ගත්හ.

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස 2020 වසර වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘සංසාරණ්‍යය අසබඩ’ ටෙලි නාට්‍යයේ ළමාතැනීගේ චරිතය නිරූපණය කළ උදාරි වර්ණකුලසූරිය සම්මාන හිමිකරගත් අතර, 2021 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘සකර්ම’ නාට්‍යයේ සිරියාවතීගේ චරිතය නිරූපණය කළ චම්පා ශ්‍රියානි මහත්මිය සම්මාන හිමිකර ගත්තාය.

2020 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ රොෂාන් රවීන්ද්‍ර හිමිකරගත් අතර 2021 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේම විකාශය වූ ‘සකර්ම’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හිමිකර ගත්තේය.

එමෙන්ම 2020 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය ලෙස ‘තණමල්විල කොල්ලෙක්’ සම්මානය හිමිකරගත් අතර, 2021 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය ලෙස ‘සකර්ම’ සම්මානයට පාත්‍රවිය.

මෙහිදී ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා ලෙස කුසල් මධුරංග සම්මාන හිමිකරගත් අතර, වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන හිමිකරගත්තේ ශලනි තාරකාය.

එසේම ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයට සම්මාන හිමිවිය.

ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ‘විශේෂ ප්‍රණාම’ සම්මානය ප්‍රවීණ නිවේදක ප්‍රේමසර ඈපාසිංහ සහ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ කේ.බී හේරත් මහත්වරුන් වෙත පිරිනැමුණු අතර, ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිනී සුවනීතා වීරසිංහ මහත්මියට හිමිවිය.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නළුවා ලෙස 2020 වසර වෙනුවෙන් ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ පතෝලයා ලෙස රඟපෑ අංජන ප්‍රේමරත්නත්, 2021 වසර වෙනුවෙන් ‘පෝර්ක් වීදිය’ නාට්‍යයේ විල්සන්ගේ චරිතය රඟපෑ සමිත සුගීෂ්වරත් සම්මාන හිමිකරගත් අතර වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නිළිය ලෙස 2020 වසර වෙනුවෙන් ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ අක්කාගේ චරිතය රඟපෑ සුලෝචනා වීරසිංහත්, 2021 වසර වෙනුවෙන් ‘සකර්ම’ නාට්‍යයේ දෙවැනිගේ චරිතය රඟපෑ අනුරාධා එදිරිසිංහත් සම්මාන හිමිකරගත්හ.

වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවා ලෙස 2020 වසර වෙනුවෙන් තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ දීප්තගේ චරිතය නිරූපණය කළ ධනුක දිල්ෂාන්ටත්, 2021 වසර වෙනුවෙන් පෝර්ක් වීදිය නාට්‍යයේ දේව්ගේ චරිතය නිරූපණය කළ සංගීත් ප්‍රභූටත් හිමිවිය.

වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය (2020) ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ සුලෝ ලෙස රඟපෑ තිලක්‍ෂණී රත්නායක හිමිකරගත් අතර, 2021 වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය පෝර්ක් වීදිය නාට්‍යයේ මන්දාකිණිගේ චරිතය නිරූපණය කළ ශෂී ඇන්ජලීනා හිමිකර ගත්තාය.

සමීක්ෂණ ඇසුරින් පිරිනමන සම්මාන යටතේ වඩාත් ජනගත වැඩසටහන ලෙස හිරු ටී.වී. ඔස්සේ විකාශය කෙරෙන ‘හිරු ස්ටාර්’ වැඩසටහනද, වඩාත් ජනගත ටෙලි නාට්‍ය ලෙස ‘නාඩගම්කාරයෝ’ නාට්‍යයද, වඩාත් ජනගත ප්‍රවෘත්ති ප්‍රකාශය ලෙස ටී. වී. දෙරණ ද මෙහිදී සම්මාන හිමිකර ගත්තේය.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය, ටෙලි චිත්‍රපටය, ඒකාංගික ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය අංග රචනය, කලා අධ්‍යක්‍ෂණය, කැමරාකරණය, ශබ්ද නිර්මාණකරණය, සංස්කරණය, ගීත රචනය, සංගීතය, ගායකයා, ගායිකාව ආදී අංශ ගණනාවක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමිණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ප්‍රවීණ කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS