සීක් හසීනාට ජය



විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට ජයග්‍රහණය කළේ පිටපිට සිවුවැනි වරටය.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම නිවේදනය කර තිබුණි.

ඊයේ (7) පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී සිටියේය. ඒ අනුව 2009 වසරේ සිට බපයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණය වර්ජනය කළේය. ඒ, සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත් වීය නොහැකි බව පෙන්වා දෙමිනි.

මැතිවරණයට පෙර මාස ගණණාවක් බංග්ලාදේශයේ විරෝධතා පැවැත්විණි. ඒ, සීක් හසීනා ධුරයෙන් ඉවත් වී, රජය විසුරුවා, භාරකාර රජයකට බලය පවරා දී, එම භාරකාර රජය යටතේ මහ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි. කෙසේ නමුත් සීක් හසීනා ඊට අකමැති වූවාය. විරෝධතා පැවැත්වූ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු 10,000 කට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි.

බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රබල කාන්තාවෝ දෙදෙනෙකි. සීක් හසීනා සහ කලීඩා ෂියා යනු ඔවුන් දෙදෙනාය. 1991 සිට 1996 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ කලීඩා ෂියා ය. ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරියයි. සීක් හසීනා, බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයා ද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.

විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළේ කලීඩා ෂියාය. 2018 පෙබරවාරි 8 වැනිදා දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන්, කලීඩා ෂියාට වසර 5 ක සිර දඩුවම් නියම විය. පසුව එය වසර 10 ක් දක්වා දීර්ඝ කෙරුණි.

මේ වනවිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන කලීඩා ෂියා නිවාස අඩස්සියේ පසුවෙයි. කලීඩා ෂියාගේ අනුප්‍රාප්තිකයා ලෙස පක්ෂයේ නායකත්වය බාර ගත් ඇගේ පුතා ටරීක් රෙහ්මාන්ට අපරාධ චෝදනා එල්ල විය. ඔහු අද ජීවත් වන්නේ බංග්ලාදේශයෙන් පිටුවහල් වී ලන්ඩන් නුවරය.

ඊයේ (7) මැතිවරණය ආරම්භ වීමටත් පෙර සිටම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ කලහකාරී පිරිස් මගී දුම්රියකට පහර දී ඊට ගිනි තැබූහ. එයින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පාසල් සහ බෞද්ධ පන්සල්වල පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන කීපයකට කලහකාරී පිරිස් කඩා වැදී පහර දුන් බව ද වාර්තා විය. පොලිසියේත්, හමුදාවේත්, ලක්ෂ අටක පිරිසක්, මැතිවරණයේ ආරක්ෂාවට යොදවා තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS