සිංගප්පූරු ඇමැති ධුරයට සමුදෙයි



දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් ඊයේ (18) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඊශ්වරන්ට චෝදනා 27 ක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන්, විමර්ශන ආරම්භ වූයේ පසුගිය 2023 ජූලි මාසයේය.

පාර්ලිමේන්තු නියෝජිතයකු ලෙස  ඊශ්වරන්ට මාසිකව සිංගප්පූරු ඩොලර් 15,000 කට වැඩි මුදලක් හිමිවිය.

සිංගප්පූරුවේ ප්‍රකට දේපොල ව්‍යාපාරියකු වන ඔන්ග් බෙන් සෙන්ග්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරමින්, ගුවන් ගමන් යෑම, සුඛෝපබෝගී හෝටලවල නවාතැන් ගැනීම, ‘ෆෝමියුලා 1’ මෝටර් රථ ධාවන තරග සඳහා ටිකට් පත් තෑගි ලෙස ලබා ගැනීම ආදී චෝදනා රැසක් සුබ්‍රමනියම් ඊශ්වරන්ට එල්ල වී තිබේ.

සුබ්‍රමනියම් ඊශ්වරන්, ඔහුට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූ අවස්ථාවේ, චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවැසුවේ, 2023 ජූලි මාසයේ සිට තමන්ට හිමි වැටුප් සහ දීමනා මුදල් ආපසු ලබා දෙන බවය.

සිංගප්පූරුවේ අමාත්‍යවරයකු අවසන් වරට, මේ අයුරින්, දූෂණ විමර්ශනයකට මුහුණ දීමට සිදුවූයේ 1986 වසරේදීය.

ලොව පිරිසුදුම දේශපාලනඥයන් සිටින්නේ සිංගප්පූරුවේ යැයි පැවැසෙයි. සිංගප්පූරුවේ අමාත්‍යවරුන් ලොව ඉහළම වැටුප් ලබන මහජන නියෝජිතයන් වන අතර, ඔවුහු මසකට සිංගප්පූරු ඩොලර් 45,000 කට (ශ්‍රී ලංකා රුපියල් 10,757,000 ක් පමණ) වඩා ආරම්භක වැටුපක් උපයති.

සිංගප්පූරු අමාත්‍යවරුන්ට ඉහළ වැටුපක් ලබා දීම සිදුවන්නේ ද වංචා සහ දූෂණ වලක්වා ගැනීමටය.

 


RECOMMEND POSTS