ස්පයිඩර් මෑන් කාටූන් වික‍්‍රමයක්



ලොකු කුඩා කාගේත් ආදරය දිනූ මාවල් සුපිරි වීරයකු වන්නේ ස්පයිඩර් මෑන් ය. පීටර් පාකර් හෙවත් ස්පයිඩර් මෑන්ගේ වික‍්‍රම සිනමාවට නැගී ඇති අතර, මාවල් ස්ටුඩියෝස් මැදිහත් වී පසුකාලීනව නිර්මාණය කළ ‘ස්පයිඩර් මෑන් හෝම් කමින්’ චිත‍්‍රපටය අතිශය ජනපි‍්‍රය විය.

ලබන දෙසැම්බර් 12 වැනිදා සිට ස්පයිඩර් මෑන් වික‍්‍රමයක් රිදී තිරයට පැමිණෙයි. මෙය පරිගණක සජීවීකරණ කාටූන් චිත‍්‍රපටයකි. ‘ස්පයිඩර්මෑන්: ඉන් ටු ද ස්පයිඩර් වර්ස්’ යනුවෙන් නම් කර ඇත.

මාවල් චිත‍්‍රකතා රසික රසිකාවියන් හොඳින් දන්නා කරුණක් නම්, ස්පයිඩර් මෑන් වන්නේ පීටර් පාකර් පමණක් නොවෙයි. තවත් ස්පයිඩර් මෑන් වීරයෝ කිහිප දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනා වෙනත් සමාන්තර ලෝකවල ජීවත් වෙති.

‘ස්පයිඩර්මෑන්: ඉන් ටු ද ස්පයිඩර් වර්ස්’ චිත‍්‍රපටයේ වීරයා වන්නේ කළු ජාතික දරුවකු වන මයිල්ස් මොරාලේස්ය. ඔහුට ගුරු හරුකම් කියා දෙමින් වීරයකු වීමට උගන්වන්නේත් පුහුණුව දෙන්නේත් මයිල්ස්ගේ ලෝකයට පැමිණෙන පීටර් පාකර් ස්පයිඩර් මෑන් ය. නොයෙක් නොයෙක් විදියේ ස්පයිඩර් මෑන් වීරයන් රැුසක් චිත‍්‍රපටයෙන් දකින්න ලැබේ.

ප‍්‍රවීණ නළු නිළියෝ රැසක් චිත‍්‍රපටයේ හඬ නළු නිළියන් ලෙස එක් වී සිටිති. නිකලස් කේජ්, ජේක් ජොන්සන්, ලිව් ෂ්‍රෙයිබර්, හෙයිලී ස්ටෙන්ෆීල්ඞ් ආදීහු ඒ අතර වෙති. ‘ස්පයිඩර්මෑන්: ඉන් ටු ද ස්පයිඩර් වර්ස්’ අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත්තේ බොබ් පෙරිෂෙටී සහ පීටර් රැම්සි විසිනි.


RECOMMEND POSTS