සඳට යන ගගනගාමීන් සිවුදෙනා



‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, 2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට නාසා ආයතනය කටයුතු කර තිබේ.

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර කාන්තා ගගනගාමියෙක්, කළු ජාතික ගගනගාමියෙක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරනකැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටිති. ඔවුන් රීඞ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන්ය.

ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාවය. වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුය.රීඞ් වයිස්මන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙයි. ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි.

යළි සඳට ගොස් සඳ ගවේෂණය පමණක් නොව, සඳේ ජනාවාස පිහිටුවීමේ ද අරමුණින්, නාසා ආයතනය මෙහෙයුම් මාලාවක් සැලැසුම් කර තිබේ.‘ආටිමිස්’ යනුවෙන් හැඳින්වෙන්නේ එම චන්ද්‍ර මෙහෙයුම්ය.ගගනගාමීන් සඳට ගෙන යෑම සහ ආපසු ගෙන්වා ගැනීම සිදු කරන්නේ ‘ඔරායන්’ නමැති චන්ද්‍ර යානයෙනි.

‘ආටිමිස් 2’ මෙහෙයුම ලබන 2024 දී ක්‍රියාවට නැංවෙන්නේ පසුගිය 2022 වසරේ සාර්ථක වුණු ‘ආටිමිස් 1’ මෙහෙයුමේ සාර්ථකත්වය නිසාය.‘ආටිමිස් 1’ මෙහෙයුමේ දී ගගනගාමීන් නොමැතිව, නාසා ආයතනය ‘ඔරායන්’චන්ද්‍ර යානය සඳ වටා යවා ආපසු ගෙන්වා ගත්තේය. එම අවස්ථාවේදී නාසා ආයතනය ‘ඔරායන්’ චන්ද්‍ර යානය සාර්ථකව අත්හදා බැලුවේය.

‘ආටිමිස් 2’ මෙහෙයුමේදී ද ගගනගාමීන් සඳට ගොඩබෑමක් කරන්නේ නැත. ඔවුන් සඳුගේ කක්ෂයට පිවිස, ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.‘ආටිමිස් 2’ දින 10 ක මෙහෙයුමකි.‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ගගනගාමීන් සඳුගේ කක්ෂයට යැවීම සිදුවන්නේ 1972 වසරේ සිදු කළ ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී වසර 50 කට වැඩි කාලයක් ගත වීමෙන් පසුවය.

ගගනගාමින් සඳට පය තැබීම සිදු කරන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2025 වසරෙන් පසුවය. එහිදී පළමු වරට කාන්තාව ගගනගාමියකු ද සඳට පය තබනු ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS