විල් ස්මිත් තීරණයක් ගනී



ඔස්කාර් සිනමා සම්මාන උළෙල සංවිධානය කරන හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට විල් ස්මිත් තීරණය කළේය.

ඒ, ඔහු එල්ල කළ අතුල් පහර සම්බන්ධයෙන් හටගත් ආන්දෝලනයත් සමගය.

පසුගිය දා 94 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල පැවැත්වෙද්දී, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කළේ ද සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානය දිනූ විල් ස්මිත්ය.

චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය විල් ස්මිත්ගේ ඉල්ලා අස්වීම අනුමත කර ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ලොව පුරා ජනප්‍රිය හොලිවුඩ් නළුවකු වන විල් ස්මිත්, සම්මාන උළෙල පැවැත්වෙද්දී, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කළේ ක්‍රිස් රොක් වේදිකාවේ සිට විල් ස්මිත් සමඟ සිටි විල් ස්මිත්ගේ බිරිඳ ජේඩා පින්කිට් ස්මිත්ට විහිළු කළ බැවිනි.

ජේඩා පින්කිට් ස්මිත් හිසකෙස් ගැලවී යෑමේ රෝගයකින් පෙලෙයි. ඇය සම්මාන උළෙලට පැමිණ සිටියේ හිස මුඩුකරමිනි. ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට මෙය විහිළුවක් විය. ඔහු දිගින් දිගටම ඇයට විහිළු කරද්දී, කෝපයට පත් විල් ස්මිත් වේදිකාවට නැග ක්‍රිස් රොක් වෙත ගොස් ඔහුට අතුල් පහරක් දී කුණුහරපයෙන් බැණ වැදුනේ සජීවීව දහස් ගණනක් දෙනා සම්මාන උළෙල නරඹද්දීය.

පසුව විල් ස්මිත්, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ගෙන් සමාව ඉල්ලීමක් කළ අතර, ආවේගශීලී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කනගාටුව ද පළ කළේය.

හොලිවුඩ් පුරය කැලැඹීමට මෙම සිදුවීම සමත් වුණු අතර, තමන් හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට අස්වන බව විල් ස්මිත් නිවේදනය කළේ ඉන්පසුවය.

විල් ස්මිත්ගේ ඉල්ලා අස්වීම බාර ගන්නා බව හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සභාපති ඩේවිඩ් රූබින් මාධ්‍ය වෙත දන්වා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS