විජයකාන්ත් සමුගනී



කොලිවුඞ් සිනමාවේ ජනප්‍රිය නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වූ බව දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

විජයකාන්ත් මියගියේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙනි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 71 කි. ජයකාන්ත්ගේ, අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකූලව සිදු කෙරෙනු ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

විජයකාන්ත් උපත ලැබුවේ 1952 අගෝස්තු 25 වැනිදාය. දමිල සිනමාවේ අසහාය වීරයකු ලෙස රසික හඳවත් දිනූ විජයකාන්ත් චිත්‍රපට 20 ක පමණ වීර පොලිස් නිලධාරියාගේ චරිතය රඟ දක්වා තිබේ.

විජයකාන්ත්, ‘ඩී.එම්.ඩී.කේ.’ පක්ෂය පිහිටුවමින්, දේශපාලනයට පිවිසියේ, රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් පසුවය. ආරම්භයේ පටන් ම විජයකාන්ත්ගේ ‘ඩී.එම්.ඩී.කේ.’ පක්ෂය තමිල්නාඩුවේ, සෙසු දේශපාලන පක්ෂවලට අභියෝගයක් විය.

2011 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ‘ඩී.එම්.ඩී.කේ.’ පක්ෂය ඉදිරිපත් වූයේ ‘ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි. 2011 වසරේ සිට 2016 තෙක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේ විජයකාන්ත් ය.

විජයකාන්ත්, රංගනයෙන් දායක වූයේ දෙමළ චිත්‍රපටවල (කොලිවුඞ් චිත්‍රපට) පමණි. ඔහුගේ චිත්‍රපට තෙලිගු සහ හින්දි බසින් හඬ කවා තිරගත කෙරුණි.

සිනමා නළුවකු පමණක් නොව, මානවහිතවාදියෙකු ලෙස ද ප්‍රකට විජයකාන්ත්, සිනමා අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරකු ද විය. 1990 වසරේ දී, ප්‍රේමලතා සමඟ විවාහ වූ විජයකාන්ත් දෙදරු පියෙකි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS