ව්‍යාඝ්‍ර ‘කෙල්ල’ සමුගනී



දෙහිවල සත්වෝද්‍යානයේ මීට මාස කිහිපයකට පෙර උපන් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් කාගේත් කතාබහට ලක්විය. ඔවුන්ගේ මව වූ ‘කෙල්ල’ නැමති ව්‍යාඝ්‍ර ධේනුව ඉතා අවාසනාවන්ත ලෙස මීට දින කිහිපයකට ඉහතදී ජීවිතයෙන් සමුගත්තාය. ඒ ඉකුත් 5 වැනිදාය.

අකිරා, ඩුමා සහ ලියෝ යන එම පැටවුන්ට ඉකුත් මාර්තු 5 වන දින උපත දුන් කෙල්ල තම දරුවන්ට මාස 6ක් පිරුණු දිනයේම ජීවිතයෙන් සමුගෙන තිබිණි. ඇය දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

පැටවුන්ගේ උපතින් පසු සිදුකළ අහඹු පරීක්‍ෂාවකදී ඇය පිළිකා රෝගයෙන් පෙළෙන බව තහවුරුවීමත් සමඟ සත්වෝද්‍යාන බලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සත්වෝද්‍යානයේ පශුවෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්ය මණ්ඩලය ඇයට විශේෂ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළත් ඇයගේ දිවි බේරාගැනීමට නොහැකි වූ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයේ සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ කෙල්ල දෙහිවල සත්වෝද්‍යානයට ලැබී ඇත්තේ 2008 වසරේදීය.

පැටවුන්ට ඉතාමත් ආදරණීය මවක් වූ ඇය මිය යනවිට වයස අවුරුදු 15 ක් පමණ විය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS