වයසින් වැඩිම ගගනගාමියා



වයසින් වැඩිම ගගනගාමියා, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිට ආපසු පෘථිවියට පැමිණි බව ඔබ දන්නවාද? ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටි වයසින් වැඩිම මේ ගගනගාමියා කවුරුන්ද? ඔහු අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේ කෙසේද? ජීවිත අවධානමක් සහිත, වයෝවෘද්ධ පුද්ගලයකු ගගනගාමියකු ලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීම කළේ කුමන ලොව අභ්‍යවකාශ ආයතනයද? 

2024 වසරේ සැප්තැම්බර් 11 වැනිදා රුසියන් අභ්‍යවකාශ ඒජන්සිය, ගගනගාමීන් තිදෙනකු සමඟ ‘එම්.එස්. 26’ මෙහෙයුම ආරම්භ කළේය. මේ මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් තිදෙනා අතරේ වයසින් වැඩිම ගගනගාමියා ද සිටියේය. ඩොනල්ඩ් (ඩොන්) පෙතීත් නමැති මෙම ගගනගාමියා ඇමෙරිකානුවෙකි. නාසා ගගනගාමියෙකි. 

ඇමෙරිකාවේ නාසා ගගනගමියකු රුසියන් අභ්‍යවකාශ මෙහෙයුමකට සම්බන්ධ වූයේ කෙසේදැයි දැන් ගැටලුවක් මතු විය හැකිය. දේශපාලනික වශයෙන් කෙතරම් එදිරිවාදිකම් පැවැතියත්, අභ්‍යවකාශ කටයුතුවලදී ඇමෙරිකාවත් රුසියාවත් සහයෝගයෙන් හවුලේ කටයුතු කරයි. රුසියන් ගගනගාමීහු ඇමෙරිකන් අභ්‍යවකාශ කැප්සියුල සහ රොකට් ආධාරයෙනුත්, ඇමෙරිකන් ගගනගාමීහු ඇමෙරිකන් අභ්‍යවකාශ කැප්සියුල සහ රොකට් ආධාරයෙනුත් අභ්‍යවකාශ ගමන් බිමන්වල යෙදෙති. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කරනු ලැබ ඇත්තේ ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීන්ගේ සහාය ඇතිවය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමේ පුරෝගාමීන් වන්නේ ඇමෙරිකාව සහ රුසියාවය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රුසියාවට අයත් කොටසක් සේම, ඇමෙරිකාවට අයත් කොටසක් ද ඇත.

‘එම්.එස්. 26’ මෙහෙයුමේදී . ඩොනල්ඩ් පෙතීත් ඇතුළු සෙසු ගගනගාමීන් දෙදෙනා අභ්‍යවකාශ නැවතුම්පොළට රැගෙන යෑම සිදුවූයේ ‘සෝයූස්’ ගගන කැප්සියුලයක ආධාරයෙනි. ඩොන් පෙතීත්, පියසැරි ඉන්ජිකේරුවෙකි. මොහු සමඟ අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය අනෙක් ගගනගාමීන් දෙදෙනා රුසියානුවන්ය. ඔවුන් ඇලෙක්සි ඔවැචෙනින් සහ ඉවාන් වැග්නර්ය.‍ සෝයූස් කැප්සියුලයෙන් ගොස්, ඩොන් පෙතීත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ඇතුළු වෙද්දී, ඔහු 69 හැවිරිදි විය. ඔහු යළි පෘථිවියට පැමිණියේ, මොහුගේ උපන් දිනය යෙදී තිබුණු අප්‍රේල් 20 වැනිදාය. ඒ අනුව, ඩොන් පෙතීත්ගේ වයස අවුරුදු 70 ක් විය. 

පෘථිවියෙන් යද්දී අවුරුදු 69 ක් වයසැති ඩොන් පතිත්, යළි පෘථිවියට පැමිණියේ 70 හැවිරිදි වියට පා තබමිනි. අභ්‍යවකාශ ගමනක යෙදුණු වයසින් වැඩිම ගගනගාමියා පමණක් නොවෙයි; අභ්‍යවකාශ නැවතුම්පොළේ රැදී සිටි වයසින් වැඩිම ගගනගාමියා වූයේ ද ඩොන් පතිත්ය. 


RECOMMEND POSTS