ලෝක බැංකුවේ නව සභාපති



ලෝක බැංකුවට නව සභාපතිවරයකු පත්විය. ඔහු ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකන් ජාතිකයකු වන අජේ බංගාය.

බංගා ලෝක බැංකුවේ 14 වැනි සභාපතිවරයාය. නව සභාපති ලෙස අජේ බංගා තෝරා පත් කරගනු ලැබුවේ ලෝක බැංකුවේ පාලක මණ්ඩලය විසිනි. වසර 5 ක ධුර කාලයක් සඳහා සභාපතිවරයා ලෙස බංගා කටයුතු කරනු ඇත.

අජේ බංගා උපත ලැබුවේ 1959 නොවැම්බර් 10 වැනිදාය. විකිපීඩියා වෙබ් අඩවිය ඔහු හඳුන්වා දෙන්නේ, ඉන්දියාවේ උපන් ඇමෙරිකන් ව්‍යාපාරික විධායක නිලධාරියකු ලෙසය.

අජේ බංගා මෑතකදී ජෙනරල් අත්ලාන්තික් හි උප සභාපති ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු සේවකයින් 24,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින ගෝලීය සංවිධානයක් වන මාස්ටර්කාඩ් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද සේවය කර ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

අජේ බංගා ඇමෙරිකා ඉන්දියා ව්‍යාපාර මණ්ඩලයේ සභාපති ධුරය ද හෙබවීය. ඉන්දියාවේ ආයෝජන සිදු කරන ඇමෙරිකන් සමාගම් 300 කට වැඩි ගණනක් ඇමෙරිකා ඉන්දියා ව්‍යාපාර මණ්ඩලය හා සම්බන්ධ වී සිටී. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් අජේ බංගා කටයුතු කර ඇත.

බංගා, සීක් ජාතිකයෙකි. උපත ලැබුවේ, ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ නුවරදීය. පියා, හර්බජන් සිං බංගා, ඉන්දීය හමුදාවේ සේවය කළ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල්වරයෙකි. බංගා ට බාල සොහොයුරකු සිටින අතර ඔහු ද ව්‍යාපාරිකයෙකි

බංගා මූලික අධ්‍යාපනය ලැබුවේ ශිම්ලා ශාන්ත එඩ්වඩ් පාසලෙන් සහ හයිද්‍රාබාද් පාසලෙනි. ඔහු දිල්ලි හි ශාන්ත ස්ටීවන් විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියක් ද පසුව අහමදාබාද්හි ඉන්දියානු කළමනාකරණ ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක් ද ලබා ගෙන ඇත.

බංගාට ඇමෙරිකන් පුරවැසිභාවය හිමිවූයේ 2007 වසරේදීය.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS