ලිස් ට්‍රස් එලිසබත් මහ රැජින හමුවෙයි



පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයට පත් වී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවුණු ලිස් ට්‍රස්, දෙවැනි එලිසබත් මහ රැජින හමුවූවාය.

හමුව පැවැත්වූයේ ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටි බල්මොරාල් මන්දිරයේය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එලිසබත් මහ රැජින නැවැතී සිටින්නේ මෙම මන්දිරයේය.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා එලිසබත් මහ රැජින හමුවීම එරට සම්ප්‍රදායයි. එහිදී සිදුවන්නේ තමන් නව රජයක් පිහිටුවන බව නව අග්‍රාමාත්‍යවරයා මහ රැජිනට දැනුම් දීම සහ ධුරයෙන් ඉවත් වන අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම මහ රැජිනට බාර දීමය. ඒ අනුව, ධුරයෙන් ඉවත් වන බොරිස් ජොන්සන් ද මහ රැජින හමුවී ඉල්ලා අස්වීම බාර දුන්නේය.

96 හැවිරිදි එලිසබත් මහ රැජින, බ්‍රිතාන්‍ය රජ කිරුළ දරා සිටින්නේ වසර 70 ක් තිස්සේය. එදා මෙදා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු 15 වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ ලිස් ට්‍රස් ය.

තේරේසා මේ, මාග්‍රට් තැචර්ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු තෙවැනි කාන්තාව වන්නේ ලිස් ට්‍රස් ය.47 හැවිරිදි ලිස් ට්‍රස් පාලක කොන්සවර්ටිව් පක්ෂ නායිකාව වීමට පෙර බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (ඇමැති) ධුරය හෙබවූවාය.

(රොයිටර්)


RECOMMEND POSTS