ලංකාවට එන ප්‍රංශ බලවතා



වනවාටු සහ පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නියැලුණු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එම සංචාර අවසන් කර ආපසු ප්‍රංශය බලා යන අතරතුරේ, පැය කීපයක කෙටි සංචාරයක් සඳහා 28 රාත්‍රියේ මෙරටට පැමිණෙයි. ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.  

ඉමැනුවෙල් ජෝන් මිෂෙල් ෆෙද්‍රික් මැක්රොන් උපන්නේ, 1977 දෙසැම්බැර් 21 වැනිදා උතුරුදිග ප්‍රංශයේ ආමියෙන්ස් නුවරදීය. මැක්රොන්ගේ පියා ජෝන් මිෂෙල් මැක්රොන් ස්නායු රෝග පිළිබඳ මහාචාර්යවරයෙකි. මව ෆ්‍රන්සුවා නුගේ වෛද්‍යවරියකි. මැක්රොන්, ප්‍රංශ ජනාධිපති ධුරය හොබවන්නේ 2017 වසරේ සිටය. ඔහු පිටපිට දෙවැනි වරට ප්‍රංශ ජනාධිපති ධුරයට පත්වූයේ පසුගිය වසරේ පැවැත් වුණු ජනාධිපතිවරණය ජය ගනිමිනි.

ජනාධිපති ධුරයට පත්වීමට පෙර,  2004 සිට 2008 තෙක් කාලයේ මැක්රොන්, ප්‍රංශ මූල්‍ය පරීක්ෂක ජනරාල් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයකු ලෙස සේවය කළ අතර, 2008 සිට 2012 තෙක් කාලයේ පැරිසියේ රෝත්ස්චයිල්ඩ් ඇන්ඩ් සී බැංකුවේ ආයෝජන බැංකුකරුවකු ලෙස රැකියාව කළේය.

2012 වසරේ සිට 2014 වසර තෙක් කාලයේ, එවකට ප්‍රංශ ජනාධිපති වූ ෆ්‍රන්සුවා ඕලන්ඩ්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා විය. 2014 දී ආර්ථික, කර්මාන්ත සහ ඩිජිටල් කටයුතු අමාත්‍ය ධුරය හෙබවීය. තමන් ජනාධිපති ධුරයට තරග කරන බව මැක්රොන් නිවේදනය කළේ 2016 නොවැම්බර් මාසයේය.

මැක්රොන්ගේ බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව්ය. දෙදෙනා විවාහ වූයේ 2007 වසරේදීය. බ්‍රිජෙත් ත්‍රොග්නෝව්, මැක්රොන්ගේ පාසල් ගුරුවරියයි. ඇය මැක්රොන්ට වඩා අවුරුදු 24 ක් වැඩිමල්ය. බ්‍රිජෙත්ට ආලය ප්‍රකාශ කරද්දී මැක්රොන්ගේ වයස අවුරුදු 17 ක් විය. ඒ වනවිට ඇය විවාහක තරුණියක මෙන්ම දරු තිදෙනකුගේ මවකි.

2017 වසරේ පළමු වරට ජනාධිපති ධුරයට පත් වෙද්දී මැක්රොන්ගේ වයස අවුරුදු 39 කි. ප්‍රංශ ඉතිහාසයේ එරට ජනාධිපති ධුරයට පත් ළාබාලතම ජනාධිපතිවරයා මැක්රොන්ය.

මැක්රොන් මධ්‍යස්ථමතධාරී දේශපාලනඥයෙකි. තමන් මධ්‍යස්ථමතධාරියකු වූයේ දක්ෂිණාංශික හෝ වාමාංශික හෝ වශයෙන් ප්‍රංශ වැසියන් අතරේ බෙදීමක් ඇතිවීම වැලැක්වීමට බවය. ප්‍රංශ වැසියන් එක්සත් කිරීම තම අරමුණ යැයි මැක්රොන් අවස්ථා ගණනාවකදී පවසා තිබේ.

මැක්රොන්, ඉස්ලාම් අන්තවාදයට එරෙහිව නිරන්තරයෙන් හඬ නැගූ ජනාධිපතිවරයෙකි. ප්‍රංශයේ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව දැඩි පියවර රැසක් අනුගමනය කර තිබේ. මැක්රොන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ,  විශ්‍රාම ගැන්වීමේ නීති වෙනස් කිරීම ආදිය ආන්දෝලනයට තුඩු විය. මැක්රොන් ලොව ප්‍රබල නායකයන්ගෙන් කෙනෙකි.

මුළු ලොවම ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයෙන් බැටකද්දී, ලෝක නායකයන් බොහෝ දෙනකු සේම මැක්රොන් ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු බවට පත් විය. ඒ, 2020 දෙසැම්බර් 17 වැනිදාය.  2021 ජූනි 8 වැනිදා, ජනතාව අතරට ගිය අවස්ථාවකදී මැක්රොන්ට, ජනතාව අතරේ සිටි අයකුගෙන් අතුල් පහරක් එල්ල විය. එම සිද්ධියේ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණි. අතුල් පහර එල්ල කළ තැනැත්තාට මාස 4 ක සිර දඬුවම් නියම විය. එම තැනැත්තා මැක්රොන්ට අතුල් පහරක් එල්ල කළේ මැක්රොන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

ප්‍රතිවාදී විපක්ෂ ​අපේක්ෂිකා ලා පෙන්ගෙන් අභියෝග එල්ල වුවත්, දෙවැනි වරටත් ප්‍රංශ ජනාධිපතිවරණය ජය ගනිමින් දිගටම ධුරයේ රැඳී සිටීමට මැක්රොන් සමත් වූයේ 2022 අප්‍රේල් 24 වැනිදාය. ප්‍රංශ ජනාධිපතිවරයකු පිටපිට ජනාධිපති ධුර දෙකක් ජයග්‍රහණය කළේ වසර 20 කට පසුව වීම ද විශේෂත්වයකි.


RECOMMEND POSTS