රෝදයේ එල්ලී ගිය දරුවා



කුතුහලය පුදුමාකාර දෙයකි. කුතුහලයට ජීවිතයක් පවා වෙනස් කළ හැකිය. කුතුහලය නිසා ජීවිත අවදානමේ වැටෙන අවස්ථාව ද එසේමය. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් ආරම්භ වූ මෙම කතාව ද එවැන්නකි. මෙම කතාවේ, කතා නායකයා අවුරුදු 13 ක ඇෆ්ගන් කොලුගැටයෙකි. මේ දරුවා, ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට හොරා ගුවන් මගීන් පිරිසක් ද සමඟ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු විය. 

2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, එරට බලය යළි තලේබාන්වරුන් අතට පත් විය. අද ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ තලේබාන්වරුන්ගේ ෂරියා නීතියයි. ඇෆ්ගනිස්තානය ලොවෙන් හුදෙකලා වී සිටින අතර, ජාත්‍යන්තර ගුවන් ගමන් සිදුවන්නේ අතලොස්සකි. ඉන්දියාවත්, ඇෆ්ගන් රජයත් අතරේ යහපත් සබඳතා පවතී. ෂරියා නීතිය ක්‍රියාත්මක කර කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීම නිසා, ඇෆ්ගන් තලේබාන් රජය බටහිර රටවල දැඩි අප්‍රසාදයට පත්වී සිටී. ඇෆ්ගනිස්තානය ලොවෙන් හුදෙකලා වීමේ හේතුව මෙයයි. අද වනවිට යටිතල පහසුකම් ද ඉතා දුර්වලය. කාබුල් අගනුවර ගුවන්තොටුපොළ ආරක්ෂාව ද ඉතා දුර්වල බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. ඇතැම් අවස්ථාවලදී ගුවන් මගීන් ගුවන් යානාවලට ගොඩවෙන්නේ ද ගුවන් පථයට ඇවිදගෙන යෑමෙන් පසුවය. ෂටල් බස් රථ ක්‍රියාත්මක වීමක් ද නැත.

පසුගිය ඉරිදා (21) උදෑසන කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හොරෙන් ඇතුළු වූ මෙම ඇෆ්ගන් දරුවා, මගීන් සමඟ ගමන් කළත්, ඔහු මගීන් සමඟ ගුවන් යානයේ මගීන් වෙනුවෙන් වෙන්වුණු කැබිනයට ගොඩ වූයේ නැත. ඔහු ගුවන් යානයේ රෝදයක එල්ලී යානයේ රෝදය සහිත කුටියට රිංගා ගත්තේය. මෙය කිසිවකු දුටුවේ ද නැත. දරුවා රිංගා ගත්තේ, ‘කැම් එයාර්’ ගුවන් සේවයට අයත්, ‘ආර්.කියු. 4401’ අංක දරණ ගුවන් යානයටය. ‘කැම් එයාර්’ යනු ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක විශාලතම පෞද්ගලික ගුවන් සේවයයි.

යානය, පසුගිය ඉරිදා උදේ කාබුල් නුවරින් ගුවනට නැගුණේ ඉන්දියාවේ නවදිල්ලිය බලාය. යානය රෝදය සහිත කොටසේ ගමන් කිරීමේ අවදානම කොතරම්දැයි කිවයුතු නැත. එහෙත්, රෝදය සහිත කුටියේ ගුලී වුණු මේ දරුවාට, නවදිල්ලිය බලා යෑමට වාසනාව උදා විය. මෙය ඇත්තෙන්ම අමුතුම විදියේ කතාවකි. චිත්‍රපටයක කතාවක් වැනිය. ඒත් මෙය සැබෑවකි. සාමාන්‍යයෙන් හොරෙන් ගුවන් යානාවලට ගොඩ වී වෙනත් රටකට යන බොහෝ දෙනකුට පණ පිටින් ගමනාන්තයට යෑමට වාසනාව හිමි වන්නේ නැත.

ගුවන් යානයක් ගුවන්ගත වෙද්දී, එහි රෝද (ලෑන්ඩින් ගියර්) සඳහා වෙන්වුණු කුටියට හැකිලෙයි. යානය ගොඩබාද්දී හැකිලුණු රෝද යළි දිග හැරීමක් සිදුවෙයි. ‘කැම් එයාර්’ ගුවන් යානයේ, කාබුල් සිට දිල්ලි දක්වා ගමන පැය දෙකකි. යානයේ රෝදය හැකිලී එසවෙන කුටියේ මේ දරුවා ගුලි වී සිටින්න ඇතැයි පැවැසෙයි. ඔහුට බියක් දැනෙන්නට ද ඇති. ඒත් ගුවන් යානය ගොඩබසිනතුරු ඔහු එතැන සිරවී සිටියේය. ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 10.22 ට ‘කැම් එයාර්’ 4401 අංක දරණ ගුවන් යානය, නවදිල්ලි ගුවන්තොටුපොළට ගොඩබෑවේය. 

ගුවන් යානය ගොඩ බා ටික වේලාවක් ගතවෙද්දී, මේ දරුවා යානයේ රෝදය සහ ඊට සම්බන්ධ කොටස දිගේ පහළට බඩ ගා බිමට පය තැබුවේය. කාබුල් මෙන් නොව, ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළ ඉතා ආරක්ෂිත තැනකි. ගුවන්තොටුපොළ සේවකයන් ගුවන් පථයේ දරුවකු සිටින බව ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව, වීසා නැතිව, පාස්පෝට් නැතිව ඇෆ්ගනිස්තානයෙන් ආ මේ දරුවා ඉන්දියාවේ සී.අයි.එස්.එෆ්. පොලිස් බලඇණියේ බාරයට පත් විය. සී.අයි.එස්.එෆ්. යනු පැරා මිලටරි පොලිස් බලඇණියයි. ඉන්දියාවේ ගුවන්තොටුපොළ සහ යටිතල පහසුකම් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මෙම පොලිසියයි.

දරුවාගෙන් ප්‍රශ්න කෙරුණි. ඔහුගේ පිළිතුරු සරල විය. ‘එහෙම කළේ ඇයි?’ යන්නට පිළිතුර වූයේ ‘කුතුහලය නිසා’ යන්නය. තමන් ගුවන් යානයට ගොඩවූයේ ගුවන් යානය මොනවාගේදැයි බලීමට යැයි දරුවා පැවැසීය. ප්‍රශ්න කිරීම් අවසන් විය. හැරෙන තැපෑලෙන්ම දරුවා ආපසු කාබුල් යැවීමට බලධාරීහු තීරණය කළහ. දරුවා      දිල්ලියට ආ ගුවන් යානයෙන්ම, එම යානය ආපසු යද්දී දරුවා පිටත් කර හැරීම සිදුවිය. 

මේ දරුවා කළේ ඉතාමත් අවදානම් ක්‍රියාවකි. එය වීර ක්‍රියාවක් නොවෙයි, මෝඩ ක්‍රියාවකි. ගුවන් යානයක දිග හැරෙන සහ හැකිලෙන රෝද සඳහා ඇති කුටිය, පණ ඇති කිසිම කෙනකුට සුදුසු තැනක් නොවෙයි. ගුවන් යානය ගුවන්ගත වී රෝද කුටියට හැකිලෙද්දී, කුටිය අධික ලෙස රත් වෙයි. යානය ඉහළට යද්දී, ඒ තුළ පීඩනය අඩු වැඩි වෙන අතර, මගීන් වෙනුවෙන් සහ නියමුවන් වෙනුවෙන් වෙන් වුණු කැබිනයේ මෙන් පීඩනය ස්ථිරව පවත්වා ගෙන යෑම කළ නොහැකිය. ගුවන් යානයක් තවත් ඉහළට යද්දී, ඔක්සිජන් අඩු වෙයි. දිගටම පියාසර කරද්දී රෝද අඩංගු කුටියේ උෂ්ණත්වය වේගයෙන් පහළට යයි. රින 40 ට වඩා උෂ්ණත්වය අඩුවෙයි. සිහිසුන් වීමේ අවදානමක් පමණක් නොව, එම කුටියෙන් පහළට ඇද වැටීමේ අවදානමක් ද පවතී. රෝදය ඉහළට යද්දී සහ පහළට එද්දී, ඊට යටවී පොඩි පට්ටම් වීමේ අවදානම ඉතා ඉහළය. ඒත් ඒ සියල්ල මැද මේ දරුවා පණ බේරා ගත්තේය. 

ගුවන් යානයක රෝදයේ එල්ලී, ගුවන් යානය ඇතුළට ගොස් පණ රැකගෙන හොරෙන්  රටකට ගිය පළමු වැන්නා මේ දරුවා නොවෙයි. තවත් වාසනාවන්තයෝ කීප දෙනෙකි. 1996 දී ඉන්දීය ජාතික සොහොයුරෝ දෙදෙනෙක් මෙවැනි මෝඩ වික්‍රමයක් කළහ. ඔවුන් දෙදෙනා විජේ සහ ප්‍රදීප් සයිනී ය. ඔවුන් දිල්ලි ගුවන්තොටුපොළෙන් ‘බි්‍රටිෂ් එයාර්වේස්’ ගුවන් යානයකට ගොඩවිය. යානය, ලන්ඩන් නුවර බලා පියාසර කළේය. එම ගුවන් ගමන පැය 10 කි. දිවි බේරා ගැනීමට හැකි වූයේ 23 හැවිරිදි ප්‍රදීප් සයිනී පමණි.

1999 දී, ගිනියාවේ අවුරුදු 15 ත් 16 ත් වයසැති ගැටවරයෝ දෙදෙනෙක් ද මේ අයුරින් ගුවන් යානයක රෝදයේ ගමන් කිරීමට උත්සාහ ගත්හ. කොයිටා යගුයීන් සහ ටොන්කාරා ෆෝඩේ යනු ඔවුන් දෙදෙනාය. ගුවන් යානය, ගිනියාවේ කොනාර්කි නුවර ගුවන්තොටුපොළෙන් පිටත් වූයේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දක්වාය. බ්‍රසල් ගුවන්තොටුපොළ බලධාරීන්ට හමුවූයේ ගැටවරයන් දෙදෙනාගේ සීතලෙන් ගල්වුණු මළසිරුරය. එක් ගැටවරයකුගේ කලිසම් සාක්කුවේ ලියුමක් විය. තමන් යුරෝපයට බාර ගන්නැයි ආයාචනා කරමින් ලියූ ලිපියකි.

2022 දී, විසිදෙහැවිරිදි කෙන්යා තරුණයෙක්, දකුණු අප්‍රිකාවේදී, ගුවන් යානයක රෝදයේ එල්ලී යානය ඇතුළට රිංගා ගත්තේය. එය භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානයකි. යානය පියාසර කළේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවරටය. අධික සීතලෙන් බැට කෑවත් මේ තරුණයා දිවි ගලවා ගෙන තිබුණි. පසුගිය 2024 වසරේ දෙසැම්බරයේ, ඇමෙරිකාවේ, ‘යුනයිටඩ් එයාර් ලයින්ස්’ ගුවන් සේවයට අයත් මගී යානයක් හවායි බලා පැමිණියේය. එම යානයේ රෝදය සහිත කුටියෙන් මළසිරුරක් හමුවිය. මෙය ආරක්ෂක අංශ කැලඹීමට පත් කළ සිදුවීමක් විය.

රෝදවල එල්ලී ගුවනින් යෑම දුලබය. මෙවැනි ක්‍රියාවලින් ඉස්මතු වන්නේ, ගුවන්තතොටුපොළ සහ ගුවන් යානාවල ඇති ආරක්ෂක හිඩැස්ය. ගුවන්තොටුපොළවල ආරක්ෂක පද්ධති මඟ හැර, කාටත් හොරා මෙසේ ගුවන් යානාවලට ගොඩවීම ඇත්තෙන්ම බරපතල ආරක්ෂක ගැටලුවකි. ඉන්දීය රජය මෙම දරුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගන් බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා විය.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS