රාහුල්ට සිර දඬුවමක්



ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මැතිවරණ රැළියකදී ‘මෝදිලා ඔක්කොම හොරු’ යනුවෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයට වරදකරු කරමින්, ගුජරාටයේ සුරාට් අධිකරණය ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරුණි.

රාහුල් ගාන්ධි එම ප්‍රසිද්ධ ප්‍රකාශය කර ඇත්තේ, ඉකුත් 2019 වසරේ මැතිවරණ රැළියකදී වන අතර ඔහුගේ ප්‍රකාශයට එරෙහිව එවකට ගුජරාට අමාත්‍යවරයකු වූ පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබුණි.
පුර්නේෂ් මෝදි සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කිසිදු ඥාති සම්බන්ධයක් නැත.

රාහුල් ගාන්ධිගේ දඬුවම දින 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දුන් අතර, ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දඬුවම දින 30 ක කාලයකට අත්හිටුවා තිබේ.

2019 වසරේ දී රාහුල් ගාන්ධි, මෙසේ ‘මෝදි’ වාසගම විචෙනය කළේ නිරව් මෝදි සහ ලලිත් මෝදි සිහිපත් කරමිනි.
නිරව් මෝදි සහ ලලිත් මෝදි ව්‍යාපාරිකයන් වන අතර ඔවුන්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ. නිරව් මෝදි සහ ලලිත් මෝදි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සම්බන්ධයක් නොමැත.

52 හැවිරිදි රාහුල් ගාන්ධි අවිවාහකය. රාහුල් ගාන්ධිගේ මව සෝනියා ගාන්ධි, ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවය. පියා රජිව් ගාන්ධිය. හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රජිව් ගාන්ධි ඝාතනය වූයේ එල්ටීටීඊ බෝම්බකාරියක අතිනි.

රජිව් ගාන්ධි යනු හිටපු අග්‍රාමාත්‍යවරියක වන ඉන්දිරා ගාන්ධිගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. ඉන්දිරා ගාන්ධි විවාහ වූයේ ෆෙරෝස් ගාන්ධි සමඟය.

රාහුල් ගාන්ධි ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී ජවහර්ලාල් නේරුගේ මී මුණුපුරාය. ජවහර්ලාල් නේරුගේ බිරිඳ කමලා නේරුය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS