යුක්රේන වැසියෝ ජොන්සන් ඉල්ලති



බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බව වාර්තා වේ. මේ වනවිටත් එම පෙත්සමට අත්සන් 2,500 ක් ලැබී ඇතැයි ද පැවැසෙයි.

බොරිස් ජොන්සන් යුක්රේන වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ චරිතයකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමටත්, යුක්රේන හමුදාවට අවි ආයුධ සහ පුහුණුව ලබා දීමටත් කටයුතු කළේ ජොන්සන්ය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට සහාය පළ කරමින් ජොන්සන් අවස්ථා දෙකකදී යුක්රේනයට පැමිණ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බලා තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ බොරිස් ජොන්සන් අතරේ පවතින්නේ ද සමීප මිත්‍රත්වයකි.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය වන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.

ජොන්සන්ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහු පක්ෂ නියෝජිතයන්ගේ සහ ‘කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රීවරුන්ගේත් අප්‍රසාදයට පත් වුණු බැවිනි. නව පක්ෂ නායකයකු සහ අග්‍රාමාත්‍යවරයකු තෝරා ගන්නා තුරු වැඩ බලන අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන්, මේ වනවිට කටයුතු කරමින් සිටී.

මේ අතර, මේ වනවිට රුසියන් යුක්රේන යුද්ධයේ දී මියගිය රුසියන් සොල්දාදුවන් ගණන මේ වනවිට 4,000 කට වඩා වැඩි යැයි යුක්රේන හමුදාව කියයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපදෙස් පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ රුසියාවට පක්ෂ බෙදුම්වාදීන්ගේ පළාත් බොහොමයක් රුසියන් හමුදා ග්‍රහණයට පත් වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS