මුදල් වංචා කළැයි චෝදනා: ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේ



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ට්‍රම්ප් සිය ව්‍යාපාර අධිරාජ්‍යය පිහිටුවා ඇත්තේ දේපොළ වෙළෙඳාම් හරහාය. ට්‍රම්ප්ගේ පුතුන් දෙදෙනා ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ඨ) සහ එරික් ට්‍රම්ප් ද එම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටිති.

ට්‍රම්ප් ට පමණක් නොව, පුතුන් දෙදෙනාට ද චෝදනා එල්ල වී ඇත්තේ, එම ව්‍යාපාර අධිරාජ්‍යය ගොඩනැගීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවටත්, එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් වංචනික ලෙස උපයා ඇති බවටත්ය.
නීතිපතිවරිය ලෙටිටීයා ජේම්ස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක දඩයක් පැනවිය යුතු බවය.

ට්‍රම්ප් සමඟ ඔහුගේ ව්‍යාපාරවලට එක් වී සිටින පුතුන් දෙදෙනාට නිව්යෝක් ප්‍රාන්තයේ ව්‍යාපාර කටයුතු තහනම් කළ යුතු බව ද නීතිපතිවරිය ලෙටිටීයා ජේම්ස් වැඩිදුරටත් පැහැදිලි කළාය. ඊට අමතරව, ට්‍රම්ප්ට සහ ඔහුගේ සමාගමට එරෙහිව දේපොළ වෙළෙඳාම් කටයුතුවල යෙදීම වසර 5 ක් තහනම් කළ යුතු බව ද නීතිපතිවරිය යෝජනා කළාය.

තමන්ට එල්ල වන සියලු චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප් තරයේ පවසන්නේ තම ප්‍රතිවාදීන් තමන්ගේ නම කැත කිරීමට උත්සාහ ගන්නා බවය. 2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඉදිරිපත් වීමට නියමිතය.

ට්‍රම්ප්ට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙයි. ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට එය බාධාවක් වනු ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS