මැක්රොන්ට සිදුවුණු අකරතැබ්බ

සාමාන්‍යයෙන් ලෝක නායකයන් දෙදෙනකු අතරේ දුරකතන කතාබහක් සිදුවන්නේ බොහොම කල්පනාකාරීවය. ඉතා සැලැසුම්සහගතවය. හේතුව, කට වැරදුණොත්, ලෝක යුද්ධයක් පවා ඇති විය හැකිය. එක් ලෝක නායකයකුට තමන්ට සිතුණු සැණින් රසි පරිදි තවත් ලෝක නායකයකුට ඇමතුමක් ගෙන ‘ඉතිං කොහොමද මිත්‍රයා?’ යැයි සුහඳ කතාබහක නියැලීමට නොහැක. ඒත් එසේ කළ හැකි නම්, කළ හැකි වන්නේ ලෝක බලවතුන්ට පමණි.
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් නිව්යෝක් ගියේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමටය. ඊශ්‍රායලයෙන් දිගින් දිගටම එල්ල වන කෙණෙහිලිකම්වලට එරෙහි වෙමින්, ප්‍රංශය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව සිදුවිය.
ප්‍රංශය පමණක් නොව කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ආදී ලොව බලවත් රටවල් පවා පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇති අතර, ඊශ්රායලයේත්, ඊශ්‍රායලයේ ගජ මිතුරා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේත් දැඩි විරෝධය මෙන්ම අප්‍රසාදය ද ඊට එල්ල වී ඇත.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත්තේ, සෞදි විදෙස් අමාත්‍ය ෆයිසාල් බින් ෆරාන් කුමරු සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා ද පවත්වමිනි. එක්සත් ජාතීන්ගේ 80 වැනි සැසියට සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු සහභාගී වූයේ නැත. ඔහු වෙනුවට පැමිණ සිටියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆරාන් කුමරුන්ය. කෛස් නමුත් සෞදි කුමරු, මැක්රොන් සමඟ වීඩියෝ තාක්ෂණයෙන් ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන සාකච්ඡා කළේය.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ලෝක නායකයන් අමතමින් කළ කතාවට පාදක වූයේ ද පලස්තීනය සහ ගාසා අර්බුදයයි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍යය විසඳුමක් අවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කතාව අවසන් විය.
ජනපති මැක්රොන්, සිය නියෝජිතයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරාගෙන මෝටර් රථ දෙකකට ගොඩවූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ගොඩනැගිල්ලේ සිට, නිව්යෝක් නුවර පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට යෑමටය. තානාපති අංක තහඩු සහිත එම මෝටර් රථවලට කිසිදු බාධාවකින් තොරව යෑමට හැකියාව තිබුණි. එහෙත්, ප්‍රංශ තානාපති කාර්යාලය බලා යමින් සිටියදී, මෝටර් රථ දෙක පොලිස් බාධක හමුවේ නතර විය.
ඉදිරියෙන් මාර්ග සියල්ල නිව්යෝක් පොලිස් නිලධාරීන් විසින් වසා දමනු ලැබ තිබුණි. ප්‍රංශ ජනාධිපතිවරයා සිදුවන්නේ කුමක්දැයි බැලීමට මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන් හමුවට ගියේය.
නිව්යෝක් නුවර වැසියන්, ප්‍රංශ ජනාධිපති කවුරුන්දැයි හොඳින් දනී. එහෙයින්, ජනපති මැක්රොන් සිය මෝටර් රථයෙන් එළියට බසිද්දී, කාගේ කාගේත් ජංගම දුරකතනවල කැමරා යොමු වූයේ මැක්රොන් වෙතටය. මැක්රොන්, මාර්ගය අවහිර කරමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ළං වෙද්දී, අසල සිටි පිරිස් එම සිදුවීම ජංගම දුරකතනවලින් පටිගත කළ අතර, එම දසුන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් ඔස්සේත් වයිරල් (ජනප්‍රිය) විය.
“මම ප්‍රංශ ජනාධිපති. මා එක්ක දස දෙනකුගේ කණ්ඩායමක් ඉන්නවා. ඇයි අප මේ විදියට නවත්වා ගත්තේ, අපට ප්‍රංශ තානාපති කාර්යාලයට යන්නයි ඕනෑ.” යැයි මැක්රොන් කියද්දී නිව්යෝක් පොලිසි නිලධාරියා ඉතා විනීතව ඊට පිළිතුරු දුන්නේය.
“ජනාධිපතිතුමනි ඔබ කවුරුන්දැයි අප දන්නවා. අපට ඇත්තටම කනගාටුයි. කරන්න කිසිම දෙයක් නැහැ. ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ මෝටර් රථ පෙළ ගමන් කරනවා මෙතැනින්. ඒකයි පාර වහලා තියෙන්නේ. ටික වේලාවක් ඔබට ඉන්න සිද්ධ වේවි. අපට කරන්න දෙයක් නැහැ. හරිම කනගාටුයි” යැයි නිව්යෝක් පොලිස් නිලධාරියාගේ පිළිතුර එය විය.
‘ඒකත් එහෙමද?’ යැයි කී මැක්රොන්, ඔහුගේ ජංගම දුරකතනය අතට ගෙන ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ අංකයට ඇමතුමක් දුන්නේය. ලෝක නායකයන්, විශේෂයෙන් බටහිර බලවතුන්ට ඕනෑම වේලාවක එකිනෙකා සමඟ කතා කිරීමට විශේෂ අංකයක් ඇත. මැක්රොන් ට්‍රම්ප්ගේ එම අංකය අමතද්දී ට්‍රම්ප් ‘හලෝ’ කීවේය.
“ඉතිං කොහෙමද ඔබට? කියන්න ද කාරණාවක්. මා දැන් ඉන්නේ පාර මැද. අපට යන්න විදියක් නෑ. පොලිසිය හරස් වෙලා. පාරවල් සේරම වහලා ඔබ නිසා.” යැයි මැක්රොන් පැවැසුවේ සුහදව, නමුත් චෝදනාවක් කරන ස්වරූපයෙනි.
ට්‍රම්ප්ගේ පිළිතුර කුමක්දැයි වීඩියෝ දසුන් හරහා පැහැදිලිව ඇසෙන්නේ නැත. “ඉතිං මට මොකද?” යැයි ට්‍රම්ප් කීවා වෙන්නත් බැරි නැත. කෙසේ නමුත් මැක්රොන්, සැණින් මාතෘකාව
වෙනස් කළේය. “පහුගිය දා කටාර්වල සිද්ධ වුණු දේ ගැන මට ඔබ සමඟ කතා කරන්න ඕනෑ. ඒ වගේමයි ගාසා ගැටලුව ගැනත් කතා කරන්න ඕනෑ” යැයි මැක්රොන් ට්‍රම්ප්ට පැවැසීය. (පසුදින ට්‍රම්ප් සහ මැක්රෝන් අතර හමුවක් ද එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී, රාජ්‍ය නායක සැසියට සමගාමීව පැවැත්විණි.)
මැක්රොන්ට සිදුවුණු අකරතැබ්බ, පුවත් මවන්න වූයේ එලෙසිනි. මැක්රොන්, ඊශ්‍රායලයට දෙහි කපමින්, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම නිසා ට්‍රම්ප්ගේ උදහසට ලක් විය. එය කවුරුත් දන්නා දෙයකි. එබැවින්, ට්‍රම්ප්ගේ සැලැස්මකට අනුව, ට්‍රම්ප් පාර්ශ්වය, හිතාමතා මැක්රොන් සහ ඔහුගේ කණ්ඩායම පැමිණෙන බව දැන දැන, නිව්යෝක් වීදි වසා දැමීමට උපදෙස් දී, මැක්රොන් රස්තියාදු කළේ යැයි ද සැකයක් මේ වනවිට නිර්මාණය වී ඇත.
ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි

